July 29, 2024

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමාන ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ සමගි ජන බලවේගය ප්‍රශ්න කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් සමගි ජන බලවේගය සඳහන් කළේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු ලෙස හඳුනාගෙන පාසල් ස්මාර්ට් පන්තිකාමර සඳහා සක්වල සහ සෞඛ්‍ය අංශය සඳහා හුස්ම වැනි සියළුම පරිත්‍යාග වැඩසටහන් නවත්වන ලෙස කොමිසම පක්ෂයෙන් ඉල්ලා ඇති බවයි.

විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සහ ඉඩම් අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘උරුමය’ වැඩසටහනට එම සීමාව නොපෙන්වන්නේ මන්දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කර තිබේ.

ආණ්ඩුවේ කටයුතු කිහිපයකට රාජ්‍ය සම්පත් යෙදවීම සම්බන්ධයෙන් තමන් වරින් වර මැතිවරණ කොමිසමේ අවධානයට ගෙන ආ බවද විපක්ෂය දන්වා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ට සමාන අවස්ථා තිබිය යුතු බව සිහිපත් කරමින් සමගි ජන බලවේගය, සිය පරිත්‍යාග වැඩසටහන් නවත්වන අතරම ආණ්ඩුවේ එවැනි වැඩසටහන් අත්හිටුවීමට ද පියවර ගත යුතු බව පැවසීය.