July 10, 2023

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට සහ එය රාජ්‍ය අංශයට ඇතුළත් කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඩිජිටල්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට මාස හයක කාලයක් ලබා දී ඇත.

මෙම පියවර ඔස්සේ, මෙහෙයුම් විධිමත් කිරීමට සහ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ඩිජිටල්කරණය කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

කෘත්‍රිම බුද්ධිය පිලිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා රට තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් මාසයේදී තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, කාර්ය සාධක බලකාය සිය පළමු රැස්වීම පසුගිය මාසයේදී පැවැත්වූ බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පවසයි.

කෙසේ වෙතත්, මාර්ග සිතියම තවමත් ඉදිරිපත් කර නොමැති බැවින් එම ක්‍රියාවලියේ නිශ්චිත කාල රාමුව පිළිබඳව අදහස් දැක්වීමට තමාට නොහැකි බවත්, කාර්ය සාධක බලකාය විසින් මාර්ග සිතියම ඉදිරිපත් කළ පසු කමිටුවේ වැඩ ආරම්භ කරන බවත්, ඔහු සඳහන් කර ඇත.

මෙම කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වේ.

ආචාර්ය රොමේෂ් රණවන, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය අශෝක කරුණානන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, මහාචාර්ය එන්. කේ. වික්‍රමාරච්චි, මහාචාර්ය රොෂාන් රේගල්, ආශික් අලි සහ ජයන්ත ප්‍රනාන්දු ඇතුළු 21 දෙනෙක්ගෙන් මෙම කමිටුව සමන්විතවේ.

පරිගණක සහ තොරතුරු තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමට වත්මන් වාර්ෂික දායකත්වය ඩොලර් බිලියන 1.9ක් පමණ වන අතර, AI දායකත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතියක් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ඊට අමතරව, ඉදිරි වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයට AI හි දායකත්වය වැඩි කිරීමට කඩිනම් පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.