
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ දී පමණක් ශ්‍රී ලංකාවෙන් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙන්නේ එය වසංගතයට පෙර වසරවලට වඩා සැළකිව යුතු වැඩිවීමක් බවයි.
දැනට මෙරටින් වාර්තා වන වැඩිම අපරාධ ලිංගික හිංසන කාණ්ඩයට අයත් බව ද පෙනීගොස් ඇත.
කෙසේවෙතත්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් වින්දිතයන්ට දොස් පැවරීම, ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිකම හෝ නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් ඔවුන්ගේ නඩු අසංවේදී ලෙස හැසිරවීම ගැන බිය වන බැවින්, මෙම අපරාධ හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹෙන බව පෙනීගොස් ඇත.
මෙවැනි නඩු හැසිරවීමට සහ වාර්තා කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය සහ පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික පොලිස් ඇකඩමිය මෑතකදී ගිවිසුම් ලිපියක් ද අත්සන් කරන ලදී.
ජාතික පොලිස් ඇකඩමියේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා අදාළගිවිසුම් ලිපියට අත්සන් තබා තිබිණි.
ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සහ ජාතික පොලිස් ඇකඩමියේ සහ කාන්තා හා ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් ද අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාව කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට ආරක්ෂිත සමාජයක් බවට පත්වීමේ ගමනේ පියවරක් ලෙස ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හා ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් ධාරිතාවයෙන් සන්නද්ධ කිරීම ව්‍යාපෘතියේ කොටසකි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ජාතික පොලිස් ඇකඩමියේ විධායක අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පැවසුවේ “කාන්තාවන්ට සහ ළළමුන්ට එරෙහි අපරාධ විමර්ශනය කිරීමේදී විශේෂිත පුහුණුවක අවශ්‍යතාව වැදගත්. මෙම නඩු සඳහා තාක්ෂණික විශේෂඥතාව පමණක් නෙවෙයි ගැඹුරු සංවේදනය, සංවේදීතාව සහ යුක්තිය සඳහා නොසැලෙන කැපවීමක් ද අවශ්‍යයි. ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් බොහෝ විට ආරක්ෂාව සහ සහන සඳහා ඔවුන් මත විශ්වාසය තබන අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සම්බන්ධ වඩාත් සංකීර්ණ හා සංවේදී නඩු කිහිපයක් හැසිරවීමේදී දැවැන්ත වගකීමක් දරනවා” යනුවෙනි.
උත්සවය අමතමින් කාන්තා හා ළමා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවේ බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් කාර්යාංශය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දේ සිදු කර ඇති නමුත්, තීරණාත්මක අඩුපාඩුවක් වන්නේ කාර්යාංශයේ නිලධාරීන් පුහුණු කිරීම සහ සංවේදීකරණය බවයි.
එය දැන් මෙම පුහුණු මාලාව හරහා ඉටු වනු ඇත.
කාර්යාංශයේ නව බඳවා ගැනීම් සහ මධ්‍යම මට්ටමේ නිලධාරීන් සඳහා හඳුන්වාදීමේ සහ අතරමැදි මට්ටමේ පුහුණුවක් ලබා දෙන අතර, ජාතික පොලිස් ඇකඩමිය භාර නිලධාරීන් සඳහා සති දහසයක ඩිප්ලෝමාවක් ද දියත් කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart