November 5, 2023

2011 වසරේ රජය විසින් පවරා ගන්නා ලද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව සහ එහි ඉඩම් හිටපු ඇමැතිවරයකු වූ දයා ගමගේට අයත් ‘සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමට’ ලබානොදෙන බවට මහා භාණ්ඩාගාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඒ වෙනුවට, ඒ පිළිබඳව සොයා බලා ප්‍රමාණවත් වන්දි ලබාදීම වෙනුවෙන් නව වන්දි කමිටුවක් පත්කර ඇත.

ජනාධිපති නීතිඥ එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, සහ ඒ.එල්. ශිරාන් ගුණරත්න යනශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කරන ලද අංක 113/2023 සහ 115/2023 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් නොවැම්බර් 02 වැනි දින පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව සහ එහි ඉඩම් සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමට ලබානොදෙන බව මෙසේ දන්වා ඇත.

ඒ වෙනුවට 2011 අංක 43 දරන ඌණ ක්‍රියාකාරී ව්‍යවසායයන් හෝ ඌණ උපයෝගි වත්කම් පුනර්ජීවනය කිරීමේ පනතේ 5(1) වගන්තිය යටතේ සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදීම සඳහා නව වන්දි විනිශ්චය සභාවක් පත්කර ඇති බව අනාවරණය විය.

සෙවනගල සීනි කම්හල සහ එහි ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව දැනටමත් දෙවරක් රැස්වී ඇති බවද වැඩිදුරටත් අනාවරණ විය.

මේ අතර, හිටපු ඇමැති දයා ගමගේ පවසා ඇත්තේ, සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමේ සියලුම ස්ථාවර සහ ස්ථාවර නොවන වත්කම් රජය විසින් පවරාගෙන ඇති බැවින් ඔහුට වන්දි ගෙවිය යුතු බවයි.

“ඔවුන් වසර 12කට වැඩි කාලයක් මට වන්දි ගෙවා නැහැ. අපි සමාගමට ගත්ත ණය දසගුණයකින් වැඩි වෙලා. අපි බැංකු ණය අරගෙන බිලියන ගණන් සමාගමේ ආයෝජනය කළා. ඔවුන් අපට වන්දි නොගෙවන්නේ නම්, මෙම බැංකු ණය දිගින් දිගටම වැඩි වෙයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

පොදු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමේ කොටස්වලින් 90% ක් විකිණීම සඳහා 2002 දී යෝජනා කැඳවන ලදී.

ඉන් අනතුරුව, දයා සමූහ ව්‍යාපාරයේ කොටසක් වන දයා ඇපරල් එක්ස්පෝර්ට්ස් (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 550ක ලංසුව පිළිගෙන තිබිණි.

කෙසේවෙතත්, 2011 නොවැම්බර් 09 වැනි දින රජය විසින් 2011 අංක 43 දරන ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌණ උපයෝගි වත්කම් පුනර්ජීවනය කිරීමේ පනත සම්මත කරන ලද අතර, එහිදී සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමේ ස්ථාවර වත්කම් ඌණ උපයෝගිතා වත්කම් ලෙස සළකනු ලැබ පනතේ විධිවිධාන ප්‍රකාරව රජයට පවරා ගන්නා ලදී.

2023 මාර්තු මාසයේදී ලංකා සීනි සමාගමේ (පෞද්ගලික) වෘත්තීය සමිති කිහිපයක නිලධාරී මණ්ඩලය සහ සේවකයන් අංක 113/2023 සහ 115/2023 දරන මූලික අයිතිවාසිකම් අයදුම්පත් දෙක ගොනුකළ අතර, එහිදී ඔවුන් චෝදනා කළේ සෙවනගල සීනි කම්හල සහ එහි ඉඩම් දයා ගමගේට ආපසු ලබාදීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි.

ඒ අනුව, 2011 වසරේ අංක 43 දරන පනත යටතේ රජය විසින් පවරා ගන්නා ලද සියලු වත්කම් මුල් ආයෝජකයන්ට ආපසු ලබාදීමට යෝජනා කරමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 මාර්තු 02 දිනැති කැබිනට් පත්‍රිකාව අන්‍යෝන්‍ය වශයෙන් අවලංගු කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

ඉන්පසුව එම කැබිනට් පත්‍රිකාවේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2023 මාර්තු 14 වැනි දින ඇමැති මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර ඇති බව පෙනෙන බවද පෙත්සම්වල දක්වා ඇත.

තවද, සීමාසහිත සෙවනගල සීනි කර්මාන්ත සමාගමට 2011 අංක 43 දරන ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝගිතා වත්කම් පුනර්ජීවනය කිරීමේ පනතේ 5(1) වගන්තිය යටතේ මීට පෙර වන්දි විනිශ්චය සභාවක් පත් කර තිබූ බවත්, රුපියල් මිලියන 791ක වන්දියක් පිරිනැමීමට තීරණය කර තිබූ බවත් එහිදී පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පනතේ විධිවිධාන ප්‍රකාරව ලබා දී ඇති ඉහත වන්දි මුදල දයා ගමගේ විසින් අභියෝගයට ලක් නොකළ බවයි.(The Morning)