September 21, 2026

බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි හදිසියේ මතුවූ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය හමුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඩකා මහානගර පොලීසිය පවසයි.

ඩකා නගරයට ඇතුළු වන ප්‍රධාන දොරටු හතරෙහිම පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, නගරය පුරා පිහිටි ප්‍රධාන මාර්ගවල මුරපොළවල් 200 කට වැඩි සංඛ්‍යාවක පරීක්ෂාවන් සිදු කෙරේ.

පසුගිය ඉරිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන දොරටුව අසල අමුද්‍රව්‍ය යොදා සකස් කළ දේශීය බෝම්බයක් පිපිරී ගිය බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා තහවුරු කළේය. මෙම පිපිරීම පිළිබඳ පුවත ඩකා මහානගර පොලීසියේ රම්නා කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ෂෙයික් සාහිදුල් ඉස්ලාම් විසින්ද තහවුරු කර ඇත.

ඊට පෙර, සැප්තැම්බර් 15 වන දිනද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට බෝම්බයක් පිපිරී ගියේය. 2024 වසරේ රට තුළ පැවැති ප්‍රචණ්ඩකාරී විරෝධතාවලදී සිදුකළ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් අබායිදුල් කූඩර් ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමට එරෙහිව මෙම සිදුවීම් සිදුව ඇති බවට පොලිස් නිලධාරීන් සැක පහළ කරයි.

මේ අතර, මයිමෙන්සිං නගරයේ ගාල් කර තිබූ බස් රථයකට සහ රාජ්බාරි හි දවුලත්දියා බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ තවත් බස් රථයකට ගිනි තබා ඇත. සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට ආසන්නව මෙම බස් රථ දෙක ගිනිබත් කර ඇති බව බංග්ලාදේශයේ Prothom Alo පුවත්පත වාර්තා කළේය.