June 7, 2026

රඳවා තබාගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන ලෙස ඔහුගේ බිරිඳ බලධාරීන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සලේ බැලීම සඳහා අද (07) දින සිදුකළ සංචාරයකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇමතූ ඇය, තම සැමියා වසර 38කට අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ අයෙකු බැවින් ඔහුට සාධාරණ ලෙස සැලකිය යුතු බව අවධාරණය කළාය.

තම සැමියා මේ වන විට අත්අඩංගුවේ පසුවෙමින් දියත් කර ඇති උපවාසය අත්හරින ලෙස පවුලේ සාමාජිකයන් දිගින් දිගටම ඉල්ලා සිටියද, තමන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ඔහු එය අඛණ්ඩව කරගෙන යන බව ඇය ප්‍රකාශ කළාය.

“ඔහු නිර්දෝෂී අයෙක්. ඒක හැමෝම දන්නවා. ඕනෑම පරීක්ෂණයක් කරගෙන යාමට බාධාවක් නැහැ, නමුත් ඔහුට මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතුයි,” යැයි ඇය පැවසුවාය.

එමෙන්ම, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මඟින් ද සලේට සිදුවන සැලකීම් අමානුෂික බව පෙන්වා දී ඇති බවත්, බලධාරීන් විසින් ඔහුව “බිල්ලෙක්” බවට පත්කිරීමට උත්සාහ කරන බවත් ඇය චෝදනා කළාය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් දරුණු වීමට පෙර වහාම රෝහලක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලා සිටි බිරිඳ, තම සැමියාටම ස්වයංව වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටීමට නොහැකි තරම් දුර්වල තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බව ද සඳහන් කළාය.

රඳවා තබාගැනීමේ නියෝග මත පසුවන හිටපු බුද්ධි ප්‍රධානියා බැලීම සඳහා ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.

කෙසේවෙතත්, සුරේෂ් ගේ පවුලේ සාමාජිකයන් විසින් එල්ල කරන ලද මෙම චෝදනා සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැත.