July 17, 2026

දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා SLS සහතිකකරණය අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නිල සහතික ලාංඡනය නොමැති කිසිදු සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් 2026 ඔක්තෝබර් 08 වැනිදායින් පසු මෙරට තුළ නිෂ්පාදනය කිරීම, ඇසිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම මෙන්ම අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

පාරිභෝගික සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින්, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ නියෝගය නිකුත් කර ඇත.

නව රෙගුලාසි බලපාන නිෂ්පාදන කාණ්ඩ වන්නේ,

– එක්වරක් පමණක් භාවිත කරන සනීපාරක්ෂක තුවා (SLS 1732 ප්‍රමිතිය)
– එක්වරක් පමණක් භාවිත කරන සිහින් (Slim) සනීපාරක්ෂක තුවා(SLS 1748 ප්‍රමිතිය)

දේශීය නිෂ්පාදනවලට අමතරව විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා ද මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ආනයන ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදයට යටත් කර අනුමත නොකරන ලද කිසිදු ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් ලංකාවට ඇතුළු කිරීමට හෝ වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර නොලැබෙනු ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙම නිෂ්පාදන ප්‍රමිතීන්ට සිදුකරනු ලබන සියලුම නව සංශෝධන හා යාවත්කාලීන කිරීම් සඳහා ද මෙම නියෝගය එකලෙසම වලංගු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.