August 21, 2023

මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක තිබූ බෑගයක් පරීක්ෂා කළ දුම්රිය ආරක්ෂක අංශවලට එහි තිබී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ තොගයක් හමුව තිබේ.

මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට එම බෑගය දුම්රියේ අමතකව ගොස් තිබුණි.

හිරුණිගේ ගම මාතර පාලටුව අත්තුඩාව ප්‍රදේශයේ වන අතර අඹුසැමියන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිණීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි.

මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.

මොවුන් සතුව තිබූ ගමන් බෑග් කිහිපයක් දුම්රියේ වාඩිවී සිටි තැන ආසනය යට තබා ඇති අතර කොටුවෙන් බැසීමේ දී එම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.

කොටුවට පැමිණි දුම්රිය මාළිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරීක්ෂා කිරීම් සිදුකිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට එම බෑගය හමුවී මාළිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබුණි.

බෑගය තුළ පවුම් 3ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35ක ඉතුරුම් සහතිකයක් ද, බැංකු පොත්, මෝටර් රථයේ බලපත්‍රය ඇතුළු දේපල එහි තිබී ඇත.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම බෑගයේ හිමිකරු සෙවීම ආරම්භ කර ඇති අතර ඒ අනුව දිවයින පුරාම දුම්රිය ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම පණිවුඩය ද ලබාදීමට ක්‍රියා කර ඇත.

ඒ අතර බෑගයේ තිබූ බැංකු පොතේ ලිපිනය සොයා ගැනීම අනුව සහකාර ආරක්ෂක අධිකාරි ( දකුණ ) ජි.ඩබ්ලිව්. සුමිත් මහතා හරහා මාතර පාලටුව ප්‍රදේශයේ ලිපිනය සොයාගෙන අදාළ හිමිකරුවන්ට රත්‍රං ඇතුළු දේපළ භාරදීමට කටයුතු කර තිබේ.

(අද දෙරණ)