July 18, 2026

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරු වූ සහ්රාන් හෂීම් ඇතුළුව, ISIS මතවාදයෙන් පෙළඹී සිටි බව කියන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලේඛනයක් රාජ්‍ය බුද්ධි සේවය විසින් 2019 ජනවාරි මාසයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමුකර තිබූ නමුත්, එවකට සිටි ජ්‍යෙෂ්ඨ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඊයේ (17) අභියාචනාධිකරණයට ප්‍රකාශ කළේය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන කියාසිටියේ, සහ්රාන් හෂීම් ඇතුළු ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් 129 දෙනෙකුගේ මෙම ලේඛනය 2019 ජනවාරි 31 වැනි දින රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ බව ජනක් ද සිල්වා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවයි.

ශ්‍රී ලංකාව තුළ අයිසිස් මතවාදය ප්‍රවර්ධනය කරන පුද්ගලයන් මෙම වාර්තාව මගින් හඳුනාගෙන තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා, මෙතරම් පුළුල් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වූයේ මන්දැයි ප්‍රශ්න කළේය.

තවද, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක පැවැත්ම පිළිබඳව පාකිස්තානු බුද්ධි අංශ ද 2018 වසරේදී ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මීට පෙර ගොනුකරන ලද දිවුරුම් ප්‍රකාශයක් ද උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ, 2017 ඔක්තෝබර් 31 සහ පාස්කු ඉරිදා ප්‍රහාරය අතර කාලය තුළ සහ්රාන් හෂීම් සහ ඔහුගේ සගයන් විසින් සිදු කරන ලද හෝ සැලසුම් කරන ලද අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා වෙත බුද්ධි වාර්තා 97ක් ඉදිරිපත් කර තිබූ බවයි. එම වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යවා තිබූ බව ඔහු පැවසීය.

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම සහ වණාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම වැනි සිදුවීම් පිළිබඳ විමර්ශන මගින් සහ්රාන් සහ ඔහුගේ අනුගාමිකයන් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට ඒ වන විටත් තහවුරු වී තිබූ බව ඔහු තර්ක කළේය. මීට අමතරව, සැකකරුවන් සැඟවී සිටින බවට විශ්වාස කෙරෙන ස්ථාන පිළිබඳව ද රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියකු විසින් තොරතුරු සපයා තිබූ බව සඳහන් විය.

නීතිඥ ජයවර්ධනට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවතින බුද්ධි තොරතුරු මත ක්‍රියා කළේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බව එම නිලධාරියා මීට පෙර විමර්ශන කොමිසමකදී ප්‍රකාශ කර තිබේ.

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම්ගේ නායකත්වයෙන් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බවට 2019 අප්‍රේල් 4 වැනි දින ඉන්දියාවේ රිසර්ච් ඇන්ඩ් ඇනලිසිස් වින්ග් (RAW) ආයතනයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනතුරු ඇඟවීම පිළිබඳව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු පැහැදිලි කළේය.

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන එම අනතුරු ඇඟවීම පොලිස්පතිවරයා වෙත යොමු කර එහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යවා තිබූ බව ඔහු පැවසීය. ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව, එම ලිපිය 2019 අප්‍රේල් 9 වැනි දින එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ කාර්යාලයට ලැබී ඇතත්, එය එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති නාගහවත්ත වෙත යොමුකර ඇත්තේ අප්‍රේල් 16 වැනිදාය. අනතුරුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවා ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසුදින, එනම් අප්‍රේල් 22 වැනිදාය.

රවී සෙනෙවිරත්න ජනක් ද සිල්වා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි ද නීතිඥ ජයවර්ධන මෙහිදී සිහිපත් කළේය. එහිදී රවී සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබුණේ 2019 අප්‍රේල් 7 සිට අප්‍රේල් 13 දක්වා තමන් සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා විදේශගතව සිටි බවත්, අප්‍රේල් 16 වැනිදා නැවත සේවයට වාර්තා කළ බවත්ය. එම බුද්ධි තොරතුරු අඩංගු ලිපිය රවී සෙනෙවිරත්නගේ කාර්යාලයෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රේල් 19 වැනිදා බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සහ්රාන් හෂීම් සහ මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විටත් දැනුවත්ව සිටි බව සෙනෙවිරත්න මහතා කොමිසම හමුවේ පිළිගෙන තිබූ නමුත්, එම තොරතුරු සම්බන්ධයෙන් “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත හැකි කිසිදු පියවරක් නොතිබූ” බව ඔහු ප්‍රකාශ කර තිබූ බව ද නීතිඥ ජයවර්ධන අධිකරණයට පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ, මෙම නිලධාරීන්ටම නැවත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවරිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කළ නීතිඥ ජයවර්ධන, මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය 2026 ජූලි 21 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.