July 17, 2026

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිය තදින්ම ක්‍රියාත්මක කරමින් වැටළීම් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත මෙන්ම 2016 සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව, ශ්‍රී ලංකාව තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කිරීමට හේතු වූ සෞඛ්‍යමය පසුබිම සෞඛ්‍ය අංශ විසින් මෙසේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් මුඛ පිළිකා වැළඳුණු රෝගීන් 1,750ත් 1,900ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන් බහුතරයකට හේතු වී ඇත්තේ දුම්කොළ භාවිතයයි.

ජනතාව මෙම මාරාන්තික රෝගයෙන් ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණ වී තිබේ.

මෙම නීතිමය විධිවිධාන උල්ලංඝනය කරමින් දුම්කොළ සහිත බුලත්විට අලෙවි කර මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවන් වන පුද්ගලයන් සඳහා පහත දඬුවම් නියම කළ හැකිය:

– රුපියල් 2,000ක මුදල් දඩයක්
– නැතහොත් මාස හයක (06) සිරදඬුවමක්

මෙරට පවතින සාම්ප්‍රදායික සංස්කෘතික පසුබිම සලකා බලා මෙතෙක් කල් සෘජුවම වැටළීම් සිදුනොකර, ජනතාව සහ වෙළෙඳුන් දැනුවත් කිරීමට ප්‍රමුඛතාව ලබාදුන් බව උපුල් රෝහණ පවසයි.

කෙසේවෙතත්, වැරදි නිවැරදි කර ගැනීමට සැමට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින් මින් ඉදිරියට කිසිදු සමාවකින් තොරව වැටළීම් දැඩිකරන බව ඔහු අවධාරණය කරයි.

කෙසේවෙතත්, මෙම පියවර සාමාන්‍ය බුලත්විට වෙළෙඳුන් අපහසුතාවයට පත් කිරීමට ගත් තීරණයක් නොවන බවත්, සිගරට් වැනි දුම් සහිත දුම්කොළ නිෂ්පාදන අලෙවියට මෙයින් කිසිදු බාධාවක් සිදුනොවන බවත් සංගමය වැඩිදුරටත් පැහැදිලි කරයි.