July 22, 2026

අධිකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට රජය ඉඩ නොදීමට තීරණය කිරීමත් සමඟ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය පක්ෂ නායක රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, ආණ්ඩුවේ ත්‍රිවිධ අංශ (ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය), බලතල බෙදීම සහ ආයතනික සමබරතාවය පදනම් කරගනිමින් විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලා සිටියද ඊට ආණ්ඩු පක්ෂයේ එකඟතාව හිමිව නැත.

ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවෘතව විවාද කළ යුතු බව අවධාරණය කළ විපක්ෂ මන්ත්‍රීවරු, එවැනි සාකච්ඡාවකට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එල්ල වන තර්ජනයක් බවට අනතුරු ඇඟවූහ.

අධිකරණ කරුණු පිළිබඳ විවාදයට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට එල්ල වූ පහරක් බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මීළඟට ගතයුතු පාර්ලිමේන්තු සහ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණී විජේරත්න, චිත්‍රල් ප්‍රනාන්දු, වී. රාධාක්‍රිෂ්ණන්, චමින්ද විජේසිරි, ගයාන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කාවින්ද ජයවර්ධන, චතුර ගලප්පත්ති, කබීර් හෂීම්, රවි කරුණානායක, එම්.එස්.ඒ. වසීඩ්, රෝහණ බණ්ඩාර, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, බී. ආරියවංශ, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, අර්චුනා රාමනාදන්, නිසාම් කාරියප්පර්, එම්.එස්. උතුමාලෙබ්බේ, චානක මඩුගොඩ, සුරංග රත්නායක සහ සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.