May 18, 2025

ගිම්හාන කාලය තුළ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් හෙට (19) සිට තාවකාලිකව නතර වේ.

මෙම වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නතර කිරීම සම්බන්ධයෙන් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු රජයේ ආයතන සමඟ රැස්වීමක් ඉල්ලා තිබේ.

“අපි රුසියාවේ ජාතික ගුවන් සේවය වන ඒරොෆ්ලොට්, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත රැස්වීම් ඉල්ලා ලිපියක් යවා තිබෙනවා,” යැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ශෝබනි ගුණසේකර පැවසුවාය.

මොස්කව් සිට කොළඹ දක්වා සැලසුම් කර ඇති සෘජු ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.

ඒරොෆ්ලොට්, රෙඩ් වින්ග් සහ අසුර් එයාර් යන රුසියානු ගුවන් සමාගම් ශීත සමයේදී සතියකට ගුවන් ගමන් 14ක් ක්‍රියාත්මක කර තිබිණි.

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් වෙරළ ගමනාන්තයක් ලෙස රුසියාවේ ජනප්‍රිය වුවත් ගිම්හාන සමයේදී වාර්ෂිකව එම සමාගම් ගමන්වාර අඩු කරනු ලැබේ .

පසුගිය වසරේ, මැයි සිට සැප්තැම්බර් දක්වා, ඔවුන් සිය ගමන්වාර ගුවන් ගමන් දෙකකට අඩු කළ නමුත්, මේ වසරේ, එම ගුවන් ගමන් දෙක පවා නතර කිරීමට තීරණයක් ගෙන ඇත.

“පසුගිය වසරේ ගිම්හානයේදී ක්‍රියාත්මක වූ ගුවන් ගමන් දෙක රඳවා ගැනීමට තානාපති කාර්යාලය රුසියානු බලධාරීන් සමඟ කටයුතු කරමින් උත්සාහ කරනවා ” යැයි ගුණසේකර පැවසුවාය.

ශ්‍රී ලංකාව රුසියාවේ ශීත ගමනාන්තයක් ලෙස බොහෝ දුරට ප්‍රවර්ධනය කර ඇති අතර එහිදී වෙරළ තීරයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

ඇසළ පෙරහැර වැනි සිදුවීම් සහ තේ වතු වැනි අත්දැකීම් ප්‍රවර්ධනය කරමින්, වසර පුරා ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස පෙන්වීමට තවත් බොහෝ දේ කළ යුතු බව මෙම වසරේ පෙබරවාරි මාසයේදී වැඩ භාරගත් ගුණසේකර පැවසුවාය.

2023 මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට රුසියාවෙන් සංචාරකයන් 37,753ක් සහ 2024 මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ 20,924ක් පැමිණ තිබේ.

මේ වසරේ මේ දක්වා රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳපොළ තුන අතරට පැමිණ ඇති අතර, මුළු පැමිණීම් 104,441ක් ලෙස සටහන් වී තිබේ.

ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වෙන් කිරීම් නොලැබුණු බැවින් පිරිවැය හේතුවෙන් ශීත කාලය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව ගුවන් සමාගම් නිල ආරංචි මාර්ග තහවුරු කළේය.

ගුවන් ගමන් අත්හිටුවීමට වෙනත් හේතුවක් නොමැති බව ඔවුන් සහතික කර තිබේ.

ඒ අනුව ඒරොෆ්ලොට් ශීත සාමය සඳහා ඔක්තෝබර් 5 වැනි දින සිට නැවත සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව වෙත ආරම්භ කරනු ඇත.