August 22, 2026

ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රබල දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 88.14ක දුරක් හෙල්ල විසිකරමිනි.

ඉන්දියාවේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී නීරාජ් චොප්රා මෙහිදී සෙන්ටිමීටර 9ක පරතරයකින් පරාජය කිරීමට රුමේෂ් සමත් විය.

චොප්රා මීටර් 88.05ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, එය ඔහුගේ 2026 තරග වාරයේ හොඳම දක්ෂතාව ද වේ.

ග්‍රෙනාඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 86.69ක දුරක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය දිනාගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංගගේ 2026 තරග වාරය තවදුරටත් සාර්ථක කර ගැනීමට ඔහුට හැකිවී තිබේ.

ඔහු මීට පෙර රෝමයේ සහ දෝහා හි පැවැති ඩයමන්ඩ් ලීග් තරග ද ජයග්‍රහණය කර තිබූ අතර, මෙවසර මුලදී මීටර් 92.62ක පෞද්ගලික හොඳම දක්ෂතාව ද වාර්තා කරමින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවට පත්විය.