July 24, 2026

2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 197කට ආසන්න සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ පැවති හිඟයට සාපේක්ෂව කැපී පෙනෙන ශුභවාදී වෙනස්කමක් බව ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

නවතම මූල්‍ය දත්ත පැහැදිලි කරමින් ඔහු අවධාරණය කළේ, මෙම අගය සමස්ත අයවැය අතිරික්තයක් නියෝජනය කරන බවත්, රජයේ ණය සඳහා පොලී ගෙවීම් බැහැර කරන ප්‍රාථමික ශේෂය සමඟ පටලවා නොගත යුතු බවත්ය.

“ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ රජයේ ආදායම, රාජ්‍ය වියදමට වඩා ඉහළ මට්ටමක පැවතුණා. ඒ අනුව අප රුපියල් බිලියන 197ක පමණ අයවැය අතිරික්තයක් වාර්තා කර තිඛෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 236ක පමණ අයවැය හිඟයක් වාර්තා කර තිබූ අතර, ඊට සාපේක්ෂව මෙවර වාර්තා වී ඇත්තේ විශාල ඉදිරි පිම්මකි.

රජයේ ආදායම් එකතු කරගැනීමේ ක්‍රියාවලිය, විශේෂයෙන්ම බදු ආදායම් වර්ධනය වීම මෙම සාධනීය වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔහු ඉදිරිපත් කළ දත්තවලට අනුව, වසරේ මුල් මාස පහ තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන ප්‍රමාණය 13.6%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එම අගය රුපියල් ට්‍රිලියන 2.54ක් පමණ වේ.

පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සංසන්දනය කිරීමේදී බදු ආදායම 23.9%කින් පමණ වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායමද සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, බදු නොවන ආදායම සමස්ත රාජ්‍ය ආදායමෙන් කුඩා ප්‍රතිශතයක් නියෝජනය කරයි.

එමෙන්ම රජයේ ප්‍රාථමික ශේෂයද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති අතර, 2026 මුල් මාස පහ තුළ පැවති ප්‍රාථමික අතිරික්තය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.