July 7, 2026

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අතිශය තීරණාත්මක 16 දෙනාගේ වටයේ සුපිරි තරඟයකදී පෘතුගාලය ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය.

ඩලස් හි පැවැති මෙම තරගයේ පරාජයත් සමඟ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන ක්‍රීඩා දිවිය ද නිල වශයෙන් අවසන් විය.

තරඟයේ දෙවැනි අර්ධය පුරා දෙපිලටම පැහැදිලි ගෝල ලබාගැනීමේ අවස්ථා නිර්මාණය කරගැනීමට අපහසු වූ පසුබිමක, ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ආර්සනල් මැදපෙළ ක්‍රීඩක මිකෙල් මෙරිනෝ තරඟයේ 91 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

තරඟයේ පළමු අර්ධය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, 41 වැනි මිනිත්තුවේදී පෘතුගාලයේ නූනෝ මෙන්ඩෙස් එල්ල කළ පහරක් ස්පාඤ්ඤ ගෝල කණුවේ වැදී ඉවතට යාම නිසා පෘතුගාලයට පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

දෙවැනි අර්ධයේදී පෘතුගාලයේ බෲනෝ ෆර්නැන්ඩස් ගත් උත්සාහයන් ද ව්‍යර්ථ වූ අතර, ස්පාඤ්ඤ කණ්ඩායම ජූලි 10 වැනි සිකුරාදා ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම සමඟ තරඟ වැදීමට නියමිතය.