June 19, 2026

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආර්ජන්ටිනා නායක ලියොනෙල් මෙසී දැක්වූ සුපිරි දක්ෂතාවයෙන් පසුව, ඔහු ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා (Greatest of All Time) ලෙස බ්‍රසීල ‘පාපන්දු පුරාවෘත්තයක්’ වන රොනාල්ඩෝ නසාරියෝ ප්‍රකාශ කර තිබේ.

ඇල්ජීරියාවට එරෙහිව පැවැති තරගයෙන් ආර්ජන්ටිනාව ලකුණු 3-0ක විශිෂ්ට ජයක් ලැබූ අතර, එහිදී මෙසී දක්ෂ හැට්‍රික් (Hat-trick) ගෝල ලාභියකු වීමට සමත් විය.

මෙම ගෝල ත්‍රිත්වයත් සමඟ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 16ක්) ලබාගෙන තිබූ මිරොස්ලාව් ක්ලෝස්ගේ වාර්තාව සමකිරීමට මෙසී සමත් වූ අතර, ලෝක කුසලාන තරගාවලි 6කට ක්‍රීඩා කළ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසයට එක්විය.

මෙසීගේ මෙම අතිවිශිෂ්ට දක්ෂතාවය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රසීලයේ රොනාල්ඩෝ පැවසුවේ, මෙසී ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා යන ‘සැබෑ සත්‍යය පිළිගැනීමට’ දැන් සමස්ත පාපන්දු ලෝකයටම කාලය පැමිණ ඇති බවයි.

“මෙසී පිටියට පිවිසෙන සෑම අවස්ථාවකදීම, ඉතිරි දේවල් ඉතිහාසගත සහ අතිශය සුන්දර ඒවා බවට පත්වෙනවා. ලෝකය තවදුරටත් හැංගි හැංගි ඉන්නේ නැතුව, ඔහු මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා කියන ඇත්ත පිළිගන්න ඕනේ කාලය මේකයි” රොනාල්ඩෝ සඳහන් කරයි.

එමෙන්ම, මෙසී දැනටමත් ලෝක කුසලානයක් මෙන්ම පෞද්ගලික සම්මාන රැසක් දිනා තිබියදීත්, 38 වැනි වියේ පසුවන ඔහු තවමත් ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් දක්වන සුවිශේෂී දායකත්වය සහ ඔහුගේ ක්‍රීඩා දිවියේ පවතින සර්වකාලීන දක්ෂතාවයද රොනාල්ඩෝගේ දැඩි ඇගයීමට ලක්විය.

ලියොනෙල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතමයන් දෙදෙනා ලෙස බොහෝදෙනා සලකන අතර, රොනාල්ඩෝ නසාරියෝ විසින් කරන ලද මෙම ප්‍රකාශය පාපන්දු ලෝකයේ දිගු කලක් තිස්සේ පවතින ‘ලොව විශිෂ්ටතමයා කවුද?’ යන විවාදයට අලුත්ම පිටුවක් එක්කර තිබේ.