July 19, 2026

මෑතකදී දෙමෝදර ඇතුල්කන්ද ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්න හේතුවෙන්, එම කන්ද පාමුල පිහිටි නිවාස කිහිපයකට ගල් පෙරළීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික පවසයි.

ඉකුත් ජූලි 16 වැනිදා පස්වරු 7.00 ට පමණ අදාළ ප්‍රදේශය තුළ මෙම ලැව්ගින්න හට ගෙන තිබිණි.

කෙසේ වුවද, ගින්න හටගෙන පැය කිහිපයක් ඇතුළත එහි ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබේ.

වතු සීමාවන් ඔස්සේ පූර්වාරක්ෂිත පියවර ලෙස ගිනි වැටවල් සකස් කර තිබීම හේතුවෙන් ගින්න අවට ඇති තේ වතුවලට ව්‍යාප්ත වීමද වැළකී ගොස් ඇත.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා ප්‍රකාශ කළේ, මතුව ඇති ගල් පෙරළීමේ අවදානම පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර තක්සේරු කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යැවීමට කටයුතු කරන බවයි.