August 7, 2026

රංගන ශිල්පිනී බී. රිතු ආකර්ෂා වෙනුවෙන් නීතිඥ සුරංජන් ඉන්දික විසින් ලේක්හවුස් (Associated Newspapers (Pvt) Ltd.) ආයතනය, දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක සහ ජනමාධ්‍යවේදී චන්දන ජයවීර වෙත රුපියල් මිලියන 100ක (කෝටි 10ක) වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබේ.

2026 අගෝස්තු 6 දිනැති එම එන්තරවාසියට අනුව, 2026 ජූලි 31 දින ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රධාන පුවතක් සහ එයට අදාළ 4 වැනි පිටුවේ පළ වූ විස්තරාත්මක පුවතක් මගින් රිතු ආකර්ෂා, කොළඹ මහාධිකරණයේ HCB 387/25 නඩුවේ චෝදනා ලැබ සිටින හිටපු දේශපාලනඥයකු සම්බන්ධ මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධ බවට සෘජුව හෝ වක්‍රව අර්ථ ගැන්වෙන ආකාරයේ කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් කර ඇත.

එන්තරවාසියේ දැක්වෙන්නේ, එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත, අපහාසාත්මක හා ද්වේෂසහගත බවත්, ඒ හේතුවෙන් තම සේවාදායකාවගේ වෘත්තීය කීර්තිනාමය, සමාජ ප්‍රතිරූපය සහ යහපත් නාමයට බරපතළ හානියක් සිදුව ඇති බවත්ය.

එමෙන්ම, අදාළ අධිචෝදනා පත්‍රයේ 41 වැනි චෝදනාවේ රිතු ආකර්ෂාගේ නම හෝ ඇය හඳුනාගත හැකි කිසිදු තොරතුරක් ඇතුළත් නොවන බවද එන්තරවාසියේ අවධාරණය කර තිබේ.

තවද, 2026 අගෝස්තු 2 දිනැති DFCC බැංකුවේ ලිපියක් උපුටා දක්වමින්, රිතු ආකර්ෂා කිසිදු අවස්ථාවක DFCC බැංකුවේ ගිණුමක් පවත්වා නොමැති බව බැංකුව තහවුරු කර ඇති බවද එහි සඳහන් වේ.

මෙම පුවත් පළකිරීමට පෙර ප්‍රමාණවත් සත්‍යාපනයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ කීර්තිනාමයට හා වෘත්තීය ජීවිතයට බරපතළ හානියක් සිදුව ඇති බව පවසන එන්තරවාසිය, දින 14ක් ඇතුළත රුපියල් මිලියන 100ක වන්දි මුදල ගෙවන ලෙස ඉල්ලා සිටී.

නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම්, වන්දි මුදල, නීතිමය පොලී, නඩු ගාස්තු සහ නීතියෙන් හිමිවන අනෙකුත් සහන ලබාගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එන්තරවාසියෙන් දැනුම් දී ඇත.

May be an image of ticket stub and text

May be an image of ticket stub and text

May be an image of ticket stub and text