July 22, 2026

අනුකරණය කරන ලද ව්‍යාජ ආනයන ලේඛන භාවිත කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී සහ අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයා ගත් බවට සැකකෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 715ක පමණ (රුපියල් බිලියන 240ක) මුදලක් විදේශයන් වෙත යවා ඇති බවට පොලිසිය ඊයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ තොරතුරු හෙළිකළේය.

ආනයනයන් සඳහා අත්පිට මුදල් (Advances) ලෙස ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් රටින් පිටකර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් මාසයේදී පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අදාළව විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට විසින් මෙම කරුණු හෙළිදරව් කරන ලදී.

ජනාධිපතිවරයා දක්වා තිබූ පරිදි, මෙම මුදල් ටෙලිග්‍රැෆික් හුවමාරු (Telegraphic Transfers – TT) මාර්ගයෙන් ගෙවා ඇති නමුත් ඊට අදාළ කිසිදු භාණ්ඩයක් මෙරටට ලැබී නොමැත.

පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවල නිවැරදිභාවය තහවුරු කරගැනීම සඳහා මහ බැංකුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පියවර ගත්තේය.

ඊයේ දිනයේදී නැවත රැස්වූ කාරක සභාව, විදේශ හුවමාරු සහ ආනයන සම්බන්ධයෙන් බැංකු, ශ්‍රී ලංකා රේගුව සහ මුදල් අමාත්‍යාංශයේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව අතර පවතින බරපතල අඩුපාඩු සහ සම්බන්ධීකරණයේ පරතරයන් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ පොලිසිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත්, එහිදී ප්‍රේරිත මුදල් (Remittances) සහ ඊට අදාළ ආනයනයන් පරීක්ෂා කිරීමේදී ආයතන අතර විශාල පරතරයක් පැවති බව නිරීක්ෂණය වූ බවත්ය. එමෙන්ම සිදුකෙරෙන අපරාධ විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද පොලිසිය කාරක සභාව දැනුවත් කළ බව ඔහු පැවසීය.

“රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් පිටතට මුදල් යැවීමේදී අනුගමනය කළ යුතු වාර්තාකරණ නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්. ජාවාරම්කරුවන් නියාමනයේ ඇති මෙම හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන තියෙනවා. සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා රේගුව වෙත තවත් තොරතුරු කට්ටලයක් ලබාදීමට අදාළ දැනට පවතින නීතියට සංශෝධනයක් අපි අනුමත කළා. කෙසේවෙතත්, සාධාරණව ව්‍යාපාර කරන සැබෑ ආනයනකරුවන්ට අනවශ්‍ය නීති පැනවීම නෙවෙයි කාරක සභාවේ අරමුණ. දැනට තියෙන නීති තදින් ක්‍රියාත්මක කරලා ජාවාරම්කරුවන් අල්ලගන්න එකයි සිද්ධ වෙන්න ඕනේ” යැයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

මෙම අර්බුදකාරී සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස බහු-ආයතනික කමිටුවකට නියෝග කළ බවද ඔහු සඳහන් කළේය.