November 15, 2026

ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් භාවිත කරන අවන්හල් සහ ආපනශාලා මගින් කෙටි කෑම (short eats), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ජනප්‍රිය ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

මෙම මිල සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ, ඉහළ යන මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් මත යැපෙන ආපනශාලා විසින් කෙටි කෑම වර්ගයක මිල රුපියල් 5කින් ද, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු පංගුවක මිල රුපියල් 15 බැගින් ද ඉහළ දමනු ඇති බවයි.

පෙරේදා(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය මිල ගණන් ඉහළ දැමීමට ගත් තීරණයත් සමඟ ආපනශාලා හිමියන් විසින් මෙම මිල සංශෝධනය සිදුකර තිබේ.

නව මිල සංශෝධනය යටතේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ ගොස් ඇති අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ ගොස් ඇත.