November 14, 2026

යළි ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණීමට හිටපු අමාත්‍ය කංචන විජේසේකර ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට මෙන්ම දුකට ද පත්වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ කංචන විජේසේකර සිදුකළ මෙහෙවර ද ඔහු මෙහිදී ඇගයීමට ලක්කර ඇත.

තමන් ස්ථිර ලෙසම ආයතනික (පෞද්ගලික) අංශයට යොමු වූ බවට කංචන විජේසේකර කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තබා ඇති හරීන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ එක්ව කටයුතු කිරීමට පෙර තමන් දෙදෙනා දේශපාලන ප්‍රතිවාදීන් ලෙස කටයුතු කළ ආකාරය සිහිපත් කරයි.

2015 සහ 2020 වසරවලදී පාර්ලිමේන්තුව තුළ විරුද්ධ දේශපාලන කඳවුරු නියෝජනය කරමින් ජාතික ගැටලු සම්බන්ධයෙන් නිරන්තරයෙන් මතභේද ඇති කරගත් බවද හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. කෙසේවෙතත්, 2022 වසරේ ඇති වූ ආර්ථික බිඳවැටීමත් සමඟ රට පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේදී තමන් දෙදෙනා එක්වූ බව ඔහු පවසයි.

දේශපාලන ප්‍රතිවාදීන් එකට එක් කරමින් ප්‍රධාන ජාතික අභියෝගවලට මුහුණදීමේ වගකීම ඔවුන් වෙත පැවරීම පිළිබඳව හරීන් ප්‍රනාන්දු මෙහිදී හිටපු ජනාධිපති වික්‍රමසිංහට ගෞරවය පුදකරයි. ඒ අනුව, විදුලිබල හා ඉන්ධන අර්බුද විසඳීමේ වගකීම කංචන විජේසේකරට පැවරුණු බවත්, සංචාරක ක්ෂේත්‍රය යළි නගාසිටුවීමේ සහ ඉඩම් හිමිකම් ගැටලු විසඳීමේ වගකීම තමන්ට පැවරුණු බවත් ඔහු සඳහන් කරයි.

රජයේ කටයුතු කළ කාලය පිළිබඳව අදහස් දක්වමින්, බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන හා විදුලි හිඟයක් ඇතිවීම වැළැක්වීමට කංචන විජේසේකර ගත් උත්සාහය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රශංසාවට ලක්වේ. එමෙන්ම, එම ප්‍රතිසංස්කරණවලට එරෙහි වූ දේශපාලන බලවේග විවේචනය කළ ඔහු, එලෙස විරුද්ධ වූ ඇතැම් පිරිස් මේ වන විට වත්මන් ආණ්ඩුවේ තනතුරු දරන බව ද පෙන්වාදෙයි.

තම පවුල, ව්‍යාපාර සහ පෞද්ගලික ජීවිතයට මුල්තැන දීමට කංචන විජේසේකර ගත් තීරණයට තමන් ගරුකරන නමුත්, ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා දේශපාලනයට අහිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි.

“මම එකවර සතුටටත් දුකටත් පත්වෙනවා. මෙම තීරණය තුළින් ඔබේ පෞද්ගලික අභිමතාර්ථ, ඔබේ කාලය, පවුල සහ ව්‍යාපාරවලට මුල්තැන ලැබීම ගැන මම සතුටු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනයට, පාලන තන්ත්‍රයට සහ මෙරට ජනතාවට අහිමි වන දේ ගැන මට දුකයි. මගේ එකම පැතුම අපට වැඩ පෙන්වීමට අභියෝගයක් වන අවස්ථාවකදී යළිත් දිනක එකට වැඩ කිරීමට ලැබේවා යන්නයි” යැයි හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.