April 29, 2026

කොළඹ 04 හි පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි ප්‍රසිද්ධ අවන්හලකට අද (29) අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 500,000 ක (ලක්ෂ 5ක) දඩයක් නියම කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු සාමාන්‍ය පාරිභෝගිකයකු ලෙස මෙම ආපනශාලාවට ගොස් මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් මිලදී ගෙන තිබේ.

එහිදී රු.100 ක නෝට්ටුවක් ලබාදුන් පසු ඉතිරි මුදල ලෙස ඔවුන් ලබා දී ඇත්තේ රු.20ක් පමණයි.

එහිදී අදාළ අවන්හල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලක්, එනම් රුපියල් 80ක් කුඩා ජල බෝතලයට අය කරගෙන තිබේ.

අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්, වතුර බෝතලය මිලදී ගත් බිල්පතත් සමගම අදාළ ආයතනයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වරද පිළිගත් අදාළ සමාගමට අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම දඩ මුදල නියම කරනු ලැබ තිබේ.