March 8, 2026

ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයේදී ආපදාවට ලක් වූ නැව් දෙකකින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගන්නා ලද ඉරාන නාවික හමුදා නිලධාරීන් 230 දෙනාට දින 30ක වීසා බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා තිබේ.

අමෙරිකා එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena නෞකාව ගිල්වීමෙන් පසු බේරා ගන්නා ලද ඉරාන නාවික හමුදා නිලධාරීන් 32 දෙනෙකු සහ IRIS Busher නෞකාවේ සිට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉවත් කර ගනු ලැබූ දෙවැනි ඉරාන නෞකාවේ සිටි 208 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වේ.

මෙම පියවර සඳහා කැබිනට් අනුමැතිය හෙට ඉල්ලා සිටින බව අදාළ නිලධාරියා පවසා ඇත.

වීසා බලපත්‍රවලට අමතරව, කණ්ඩායමට නවාතැන් සහ ආරක්ෂාව ලබාදෙන බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් කොළඹ ඉරාන තානාපති කාර්යාලයෙන් ද උපදෙස් ලබා ගන්නා බව ඔහු පැවසීය.

ඔවුන් නැවත ඉරානයට යැවීම අදාළ අන්තර්ජාතික නීතිවලට අනුකූලව සිදුකරනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, මැදපෙරදිග යුද ගැටුම් සමග ගුවන් ගමන් අවලංගු කිරීම සහ ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අතරමංව සිටින සංචාරකයන්ට සති දෙකක අමතර නොමිලේ වීසා බලපත්‍රයක් ලබා දෙන බව ද නිලධාරියා පැවසීය