September 22, 2026

සවුදි අරාබියේදී සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් නමැත්තාට රාජකීය සමාව ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා ජාතික ෂූරා කවුන්සිලය සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජුගෙන් ඉල්ලීමක් කර තිබේ.

සැප්තැම්බර් 19 වැනි දින යොමුකරන ලද ලිපියක් මගින් ජාතික ෂූරා කවුන්සිලය පෙන්වාදෙන්නේ, මුහම්මද් නබිතුමාට අගෞරව කිරීමේ සිද්ධියකට අදාළව අනෝජන් වරදකරු වී වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී ඇති බවයි.

තමුන්ගේ මෙම ඉල්ලීම මානුෂීය පදනම මත සිදුකරන ලද්දක් මිස සවුදිසෞදි අධිකරණ බලධාරීන්ගේ තීන්දුව හෝ එරට නීතිමය ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමේ අරමුණින් සිදුකළ එකක් නොවන බව කවුන්සිලය අවධාරණය කරයි.

අනෝජන් තමා කළ ක්‍රියාව පිළිබඳව කණගාටුව පළකර ඇති අතර, මුස්ලිම්වරුන්ගේ ආගමික හැඟීම්වලට තමා ගරුකරන බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බවද එහි සඳහන් වේ.

ඔහුගේ පෞද්ගලික සහ පවුලේ තත්ත්වය පිළිබඳව කරුණු දක්වන ජාතික ෂූරා කවුන්සිලය, අනෝජන් විශාල පවුලක් නඩත්තු කරන සාමාන්‍ය ආදායම් ලබන ශ්‍රී ලාංකික කම්කරුවකු වන බැවින් ඔහුට පනවා ඇති දඩ මුදල ගෙවීමට තරම් වත්කමක් නොමැති බවද පෙන්වාදෙයි.

කවුන්සිලයට අනුව, අනෝජන් මෙම වසර අගදී විවාහවීමට සූදානමින් සිටි අයෙකු වන අතර, ඔහුගේ වර්තමාන තත්ත්වය හේතුවෙන් දෙපාර්ශ්වයේම පවුල් දැඩි දුෂ්කරතාවයට හා අවිනිශ්චිතතාවයට පත්ව තිබේ.

ඔහුගේ තත්ත්වය කෙරෙහි අනුකම්පා සහගත ලෙස අවධානය යොමුකිරීමෙන් ඔහුගේ පවුලට සහනයක් ලැබෙනු ඇති අතර, එය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ කෘතඥතාවයට හේතු වන අතරම ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින සිරගත මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද ජාතික ෂූරා කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර ඇත.