
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රෝණි මේඛලාවෙන් එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබේ.
එක් දරුවකුට පමණක් පිහිටා තිබූ වකුගඩු දෙකෙන් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරු කටයුතු කර තිබෙන අතර එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාතුල හෙට්ටිආරච්චි කීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දෙගෙඩ ඇතුළු කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මඟින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් පිටතට ගෙන තිබෙන මෙම බද්ධ නිවුන් දරුවන් 2024 දී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්කර තිබේ. වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු දරුවන් වෙන් කිරීමේ සැත්කම සිදුකර තිබෙන්නේ පසුගිය මස 10 වැනිදාය.
එදින සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද දරුවන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි බව මාතුල හෙට්ටිආරච්චි පැවසුවේය.
බද්ධ වී සිටි නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම් මේ වනවිට මෙරට සිදුකර තිබෙන්නේ එකක් බවත් එක් දරුවකුගේ වකුගඩුවක් ගලවා ඉවත්කර අනෙක් දරුවාට බද්ධ කර ඔවුන් වෙන්කිරීමේ සැත්කමක් මෙතෙක් ලොව කිසිදු රටක සිදුකර නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සිහි නැතිකර මේ ආකාර බරපතළ සැත්කමක් සිදුකිරීම සඳහා දරුවන් දෙදෙනාගේ බර ඊට සරිලන තත්ත්වයේ තිබීම වැදගත් බවත් උපතින් පසු වසර 05 ක කාලයක් යනතෙක් ඔවුන් වෙන් කිරීමේ සැත්කම නොකළේ ඒ නිසා බවත් හෙතෙම කීවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ළමා වකුගඩු බද්ධ කිරීමේ 200 ක් පමණ මේ වනවිට සිදුකර තිබෙන බවත් මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට එම අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වූ බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක අදහස් දක්වමින් මෙම දරුවන් සැත්කමට ලක්කිරීම සඳහා පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා දීර්ඝ කාලයක් සිහි නැතිකර තබාගත් බවත් ඔවුන්ගේ හෘද වස්තුව, පෙනහලු, රුධිර සංසරණ පද්ධතිය හා මොළය හොඳින් ක්‍රියාකිරීම සැත්කම සාර්ථක කර ගැනීමට පිටුවහලක් වූ බවත් පැවසුවාය.
යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ළමයකු වුවද සිහි නැතිකර යළි සිහිය ගැනීම අභියෝගයක් බවත් එවැනි තත්ත්වයක් තිබියදී මෙම දරුවන් දෙදෙනා පැය 14ක පමණ කාලයක් නිර්වින්දන තත්ත්වයෙන් තබාගනිමින් සැත්කම සාර්ථකව සිදුකර යළි සිහිය ලබාගැනීමට හැකිවූයේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සියලු පිරිස් කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් නිසා බවත් ඇය ප්‍රකාශ කළාය.
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මෙම දරුවන් දෙදෙනා සම්බන්ධ වී තිබුණු ශ්‍රෝණි මේඛලාවේ අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවත් කකුල් පිහිටා තිබුණේ හරස් අතට බවත් පැවසුවේය.
හිසට සාපේක්ෂව පාද අංශක 90 ක ආකාරයට පිහිටා තිබීම නිසා පාදවලට යන ස්නායු හා රුධිර ගමනා ගමනයට හානියක් නොවන අයුරින් දරුවන් වෙන්කිරීම අභියෝගයක් වූ බවද හෙතෙම කීවේය.
මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනකු ඇතුළු 30 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ වී තිබේ.
දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන්ට තවත් සැත්කම් කිහිපයක් සිදු කිරීමට තිබෙන බවත් මාතුල හෙට්ටිආරච්චි කීය.
(උපුටාගැනීම – දිවයින පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart