June 17, 2026

ඉදිරි මාස 02 ක ඇතුළත එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එවිට ගැටලු රැසක් විසඳෙනු ඇති බවයි.

එම අවස්ථාවෙන් ද ප්‍රයෝජනයක් ගැනීමට අපොහොසත් වුවහොත් එහි ප්‍රතිවිපාක පක්ෂ දෙකටම අත්විඳීමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එහිදී පැවසුවේ පක්ෂ දෙක එක්වී කටයුතු කරනු ඇතැයි තමන් දැඩි විශ්වාසයෙන් පසුවන බවයි.

ඒ සඳහා කැපවී කටයුතු කරන නිලධාරීන් පිරිසක් ද පක්ෂ දෙකේම සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා බාධා කරමින් එක්සත් ජාතික පක්ෂය තුළ දෙදෙනෙකු සිටින බැවින් සිදු කළ යුත්තේ ඔවුන් පක්ෂයෙන් එළවා දැමීම බව ද ප්‍රකාශ කළේය.

පක්ෂයේ අනාගතය පවතින්නේ ඔවුන් සතුව නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සෙසු පිරිස එක්ව පක්ෂයේ අනාගතය වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.