September 20, 2026

ශ්‍රී ලංකාව සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව, චීනය සහ අමෙරිකාව වැනි බලවතුන් සමග සමබර ලෙස කටයුතු කරනවා මෙන්ම යුරෝපා හවුල සමග සමබරව කටයුතු කිරීම ද අතිශයින් වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වෙළඳපළ අවස්ථා සඳහා මෙරටට යුරෝපා හවුල අත්‍යවශ්‍ය බවයි.

එහෙත් ඒ සඳහා අමෙරිකාව මෙන්ම වාමාංශික රටවල් ද සමබර කර ඒ සමග යුරෝපා සබඳතා පවත්වා ගැනීමේ උපායමාර්ගික ක්‍රියාවලියක් තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා යෝජනා කළේය.

රටක් වශයෙන් වඩාත් වැදගත් වන්නේ සියලු පාර්ශව සමග මිත්‍රශීලීව කටයුතු කිරීම බව පැවසූ ඔහු රුසියාව, ජපානය සහ දකුණු කොරියාව සමග පවතින සබඳතා ද අතිශය වැදගත් බව අවධාරණය කළේය.

ලෝකය පවතින්නේ ලංකාව තුළ නොව, ලංකාව පවතින්නේ ලෝකය තුළ බැවින් විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ ඔස්සේ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.