June 24, 2026

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ සුවිශේෂී තත්ත්වයන් හමුවේ 5% ක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම සුදුසු වන්නට ඇති මුත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් ණය පැහැර හැරීම්, මුදල් ඒකකයේ අස්ථාවරත්වය, ගෙවුම් ශේෂ පීඩනය සහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය සේදී යාම වැනි කරුණු හේතුවෙන් මෙම රාමුව නැවත ඇගයීමකට ලක් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

මන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත්තේ ජනතාව සතු භාණ්ඩා හා සේවා මිලදී ගැනීමේ ශක්තිය රැක ගැනීම සහ රුපියලේ අගය ආරක්ෂා කිරීම යන්න හුදෙක් තාක්ෂණික මුදල් ප්‍රතිපත්තිමය අරමුණක් පමණක් ලෙස නොව, ආර්ථික හා සමාජීය ප්‍රතිපත්තියේ මූලික පදනමක් ලෙස සැලකිය යුතු බවයි.

ආර්ථික වර්ධනය මන්දගාමී වන අතරම උද්ධමන පීඩනය දිගින් දිගටම පවතින ස්තම්භන උද්ධමන තත්ත්වයකට ශ්‍රී ලංකාව ගමන් කිරීමේ අවදානමක් පවතින බව මෙම ලිපියේ ප්‍රධානතම තේමාව වී ඇත.

අර්බුදයේ දරුණුතම අවස්ථාවට සාපේක්ෂව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය යහපත් වී තිබුණ ද, පෞද්ගලික අංශයේ ආයෝජන තවමත් පවතින්නේ මන්දගාමී මට්ටමක බව ද මන්ත්‍රීවරයා එහි සඳහන් කර තිබේ.

එසේම කාර්මික ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් ධාරිතාවට වඩා අඩු මට්ටමක පැවතීම, ණය වර්ධනය සීමා වීම සහ ගෘහස්ථ මිලදී ගැනීමේ ශක්තිය අඛණ්ඩව පීඩනයට ලක්වීම වැනි ගැටලු පවතින බවත්, වෙළෙඳපොළ තුළ දැඩි ඉල්ලුමක් නොමැති වුවද උද්ධමන පීඩනය දිගින් දිගටම මතු වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.