August 13, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පක්ෂවල සහාය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම ජන රැලිය අගෝස්තු 17 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජානක තිස්සකුට්ටිආරච්චි මීට පෙර චෝදනා කර තිබුණේ පක්ෂය සංවිධාන කෙරන මංගල රැලියද එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබියදී පසුව ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටින එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා විසින් පොදුජන පෙරමුණට පෙර ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට කටයුතු කර ඇති බවටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය සමයේ සියලු මංගල රැලි ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයේදී බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

ක්‍රීඩාංගණය 23 වැනිදා දක්වා කිසියම් පිරිසක් විසින් වෙන්කරවා ගෙන තිබුණ ද තම පක්ෂය කෙසේ හෝ අනුරාධපුරයේ දී මංගල රැලිය පවත්වන බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් පසුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ රැලිය 21 වැනිදා අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර, ජනාධිපති වික්‍රමසිංහට සහාය පළ කරන නව සන්ධානයක් අගෝස්තු 16 වැනිදා පිහිටුවන අතර, ජනාධිපතිවරයාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ව මෙම නව සන්ධානය පිහිටුවනු ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විසින් ‘මහජන එක්සත් පෙරමුණ’ නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා නිවේදනය කළේය.

හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා ද ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්ව තිබිණි.

එසේම දෙමළ පක්‍ෂ නියෝජිතයන් සමඟ ද අජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවලදී උතුරේ ප්‍රජාවගේ ගැටලු ආමන්ත්‍රණය කර තිබේ.