April 3, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයකු ලෙස පොදු ලකුණකින් තරඟ කළහොත් ඔහුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබේ.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඇමැති රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා සියලු දෙනාගේම සහයෝගය ඇතිව එසේ ඉදිරිපත් වුවහොත් ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම නිසැක බවයි.

තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් 80% – 90% අතර ප්‍රමාණයක් ජනාධිපතිවරයාට සහය පළ කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් ඔහු සමඟ සිටිය යුතුය යන මතයේ සිටින බවත් ඇමැති රණතුංග අනාවරණ කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන්නේද යන ප්‍රශ්නයට ඇමැති රංතුංග ප්‍රකාශ කළේ තමන් එම තීරණයට සහාය නොදෙන බවයි.

නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තවත් වසර ගණනාවක් තිබීම ඊට හේතුව බව පැහැදිලි කළ ඔහු තව වසර 05කින් හෝ 10කින් පමණ පසුව ජනතාව විසින්ම ඔහුව ජනාධිපති ලෙස පත්කරනු ඇති බවද පැවසීය.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ද ඇමැති රණතුංග සහතික විය.