January 6, 2026

එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජනබලවේගයට එකට එක්ව ගමනක් යා යුතු නම් ඒ සඳහා පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී විය යුතු වන්නේ එම පක්ෂ දෙකේ නායකයින් වන රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම සාකච්ඡා සඳහා අතරමැදියන් සහභාගී වීමෙන් සිදුවන්නේ සාකච්ඡාවලට බාධා එල්ල වීම පමණක් බවයි.

පක්ෂ දෙක ඉතා ඉක්මනින් එක්විය යුතු බවට වන මතයේ තමා තරයේ සිටින බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ කිහිපදෙනෙකු විසින් සිදු කළ අපරාධයක් හමුවේ ශක්තිමත් පක්ෂ දෙකක් බෙදී වෙන්වී ඇති බවයි.

ඒ හමුවේ මෙරටට නිදහස් ලබාදී රට සංවර්ධනය කිරීමට උරදුන් එක්සත් ජාතික පක්ෂය දරුණු ප්‍රතිවිපාක සඳහා මුහුණදුන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.