February 28, 2026

මෙරට විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ තීරණාත්මක අරමුදල් අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.

ඒ, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට තෝරාගත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 2,010 දෙනෙකුට ගෙවීමට අවශ්‍ය රුපියල් බිලියන 8.8 කට ආසන්න මුදල පාරිභෝගිකයන්ට පැවරීමට නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම මුදල අවිනිශ්චිත වීම හේතුවෙනි.

පෙබරවාරි 20 දිනැති ලිපියකින්, බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ටී.එම්. උදයංග හේමපාල භාණ්ඩාගාර ලේකම්වරයාට දන්වා සිටියේ, ඇස්තමේන්තුගත රුපියල් මිලියන 8,831ක ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පිරිවැය විදුලි ගාස්තු හරහා අයකර ගැනීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ අනුව, විදුලිබල මණ්ඩලය විසින් 2026 ජනවාරි මාසයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු යෝජනාවට වියදම ඇතුළත් කරන ලද අතර, පස් අවුරුදු ණය පහසුකමක් හරහා එම මුදල අයකර ගැනීමේ සැලැස්මක් ද ඇතුළත් කරන ලදී.

කෙසේවෙතත්, ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පිරිවැය ගාස්තු ව්‍යුහයට ඇතුළත් කිරීම අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

එය ජනවාරි 26 වැනිදා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් සමඟ පැවති මෑත කාලීන IMF සමාලෝචන මෙහෙයුමේදී නැවත තහවුරු කරන ලද ස්ථාවරයකි.

මෙම තීරණය හේතුවෙන් විදුලිබල මණ්ඩලය සහ එහි අලුතින් පිහිටුවන ලද අනුප්‍රාප්තික ආයතන දෙකටම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ වගකීම් සපුරාලීම සඳහා අරමුදල් රැස් කිරීමට නොහැකි වේ.

එවැනි වියදම් ගාස්තු හරහා අයකර ගැනීමට නියාමන ආයතනයේ ස්ථාවරය යටතේ අවසර නැත.

ප්‍රතිසංස්කරණ වැඩසටහන අවදානමට ලක්ව ඇති බැවින්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට යෑම සහතික කිරීම සඳහා රජයේ සෘජු මැදිහත්වීම දැන් අත්‍යවශ්‍ය වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවවේ IMF වැඩසටහනට බැඳී ඇති විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පසුබිමක අරමුදල් ගැටලුව පැමිණේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරක් ලෙස, වසර 15ක් තුළ විදුලි ගාස්තු හරහා රුපියල් මිලියන 71,830ක් අයකර ගැනීමට IMF සහ නියාමකයා එකඟ වී ඇති අතර එමඟින් රජයට අමතර ආදායමක් උපයා ගත හැකිය.

මෙම සන්දර්භය තුළ, මෙම ඉදිරි ආදායම් ප්‍රවාහයට එරෙහිව රුපියල් බිලියන 8.8ක ස්වේච්ඡා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පිරිවැය පියවා ගැනීමට අමාත්‍යාංශය යෝජනා කර ඇත.

එසේම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සුමටව හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් නියමිත දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවශ්‍ය අරමුදල් මුදා හැරීමට යෝජනා කර ඇත.