August 8, 2023

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අදාළ යෝජනා අගෝස්තු 15 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීමකට අනුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර දේශපාලන පක්ෂ සිය යෝජනා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමට සැලසුම් කර ඇති අතර ඇතැම් විපක්ෂයේ පක්ෂ එලෙස යෝජනා භාරදීමට අදහස් නොකෙරෙන බව වාර්තා වේ.

ඒ අතුරින් ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සතිය වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට සිය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

නිදහස ජනතා සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම යෝජනා ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් යෝජනා සකස්කර නොමැති බවත්, කෙසේ වෙතත් එම යෝජනා කඩිනමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවත්ය.

සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ, මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂයේ නීති කණ්ඩායමේ අදහස් විමසීමෙන් අනතුරුව එම යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා පිලිබඳ අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රීලනිප මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව සමඟ ඇති ගැටලු රාශියක් නොසළකා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය තහවුරු කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබාදීමට ශ්‍රීලනිපය සූදානම් බවද ඔහු පවසයි.

ආණ්ඩුව පවා මේ සම්බන්ධයෙන් එක ස්ථාවරයකට පැමිණීමට අපොහොසත් වී ඇති බැවින් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් නොමැති බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සඳහන් කරයි.

මේ අතර, ජනාධිපතිවරයාගේ යටි අරමුණට ඉන්ධන සැපයීමට සූදානම් නැති බැවින් ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කරයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් සුළුජන කොටස්වල ඡන්ද දිනාගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට ලිපියක් යවමින් කියා සිටියේ මෙම ක්‍රියාකාරී ප්‍රවේශය ජාතික සංහිඳියාව ඇති කිරීම සහ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාධනීය සංවාදයකට පහසුකම් සැලසීම අරමුණු කරගන්නා බවයි.

පසුගිය ජූලි 26 වැනි දින කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළු රටටම බලපාන කරුණක් බැවින්, ඒ පිළිබඳව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී අදාළ සියලු පාර්ශ්වවල අදහස් ඇතුළත් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර-නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශගේ උත්තර ලංකා සභාව එම සර්ව පාක්ෂික සමුළුවේදීම ජනාධිපතිවරයා වෙත සිය යෝජනා ඉදිරිපත් කළේය.

(The Morning)