February 21, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට කළ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසීය.

සෞඛ්‍ය හේතූන් මත මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට පැමිණීමට නොහැකි වීම පිළිබඳ ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා විය.

වෛද්‍යවරුන් ඇයට නිවසේ සිට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගැනීමට උපදෙස් දී ඇති බැවින්, අවශ්‍ය නම් අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා නිලධාරීන්ට ඇගේ නිවසට යා හැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි දැනගන්නට තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයට කළ පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16.6කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.