May 22, 2026

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලන්ඩන් නුවර මාල්බරෝ හවුස්හිදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ෂර්ලි අයෝකෝර් බොච්වේ හමුවී තිබේ.

2026 වසරේ පැවැත්වෙන 43 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය ලන්ඩන් නුවර වෙත ගොස් සිටින අතර, එම නිල සංචාරය අතරතුර බ්‍රහස්පතින්දා (21) මෙම හමුව සිදුවිය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාමුව තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ හවුල් ප්‍රමුඛතා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සහ මහලේකම්වරිය සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සමඟ පොදුරාජ්‍ය මණ්ඩලය පවත්වාගෙන යන සබඳතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළාය.

දේශගුණික විපර්යාස, දේශගුණික මූල්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් සඳහා ලබාදෙන සහයෝගය වැනි ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම, තිරසාර සංවර්ධනය සහ සියල්ල ඇතුළත් පාලනය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කළාය.

තාක්ෂණික සහය, ධාරිතා වර්ධන වැඩසටහන් මෙන්ම දේශගුණික මූල්‍යකරණය සහ මැතිවරණ පාලනය වැනි ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දීමට සූදානම් බව මහලේකම්වරිය යළිත් තහවුරු කර තිබේ.

එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කෙරිණි.