April 18, 2025

තම පාලනයේ පළමු වසර පහක කාලය තුළ යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනු දැකීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජාතික ජන බලවේගයේ (NPP)මැතිවරණ රැලියක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ මෑතකදී පැවැති හමුවකදී මෙම අදහස මතුකළ බවයි.

යාපනයේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සිංහල, දෙමළ සහ මුස්ලිම් ක්‍රීඩකයන් එකට දැකීම ඔහුගේ දැක්මට ඇතුළත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

“කළ යුත්තේ කුමක්දැයි සනත් ජයසූරිය මගෙන් විමසූ විට, අපි අනිවාර්යයෙන්ම යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකර අපගේ පළමු වසර පහ තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට උත්සාහ කළ යුතු බව මම ඔහුට කිව්වා” යැයි ජනාධිපතිවරයා පැවැසීය.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ සමඟ ජයසූරිය මෑතකදී මණ්ඩතිව් හි යෝජිත භූමිය පරීක්ෂා කිරීම සඳහා යාපනයට ගියේය.

ඉඩම දැනටමත් හඳුනාගෙන අත්පත් කර ගෙන ඇති අතර, අරමුදල් ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඉන්දීය මහකොමසාරිස්වරයාට සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහාය ලබාගැනීම වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත්, උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම අරමුණු කරගත් ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සහාය දක්වන බවත් අමාත්‍ය ගමගේ තහවුරු කළේය.