April 12, 2024

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පසුගිය 10වැනිදා දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

එදින අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක්විය.

ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන අය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.