April 6, 2024

පසුගිය බදාදා ජනපති මුණගැසීමට පැමිණි මැති ඇමැතිවරුන් පිරිසක් ජාතික ජන බලවේගයේ නායකයා අනුර හා විපක්ෂ නායක සජිත් අතර ඇති වන්නට යන විවාදය ගැන කතා කළේය.

“සජබෙ කතා කළේ ජාජබෙ ආර්ථික කමිටුවයි එයාලගේ ආර්ථික කමිටුවයි දෙගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන්නට කියලයි. හැබැයි දැන් සජබෙ කියනවා මේ විවාදය කරන්න ඕනෑ අනුර හා සජිත් කියල” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ සිනා මැදය.

හැබැයි ඉස්සෙල්ලා පක්ෂයේ ආර්ථික කමිටු කතා කරලා ඉවර වෙලා නායකයෝ කතා කරමු කියලා තමයි සජබෙ කියන්නේ. ජාජබෙ නම් ඒකට කැමැති නෑනේ. මන්ත්‍රි මධුර කීවිට සැමට සිනහව නතර කර ගන්නට නොහැකි විය.

“හැබැයි, අපේ ජනාධිපතිතුමාගේ කතා නෑ වැඩ විතරයි” ඇමැති මනුෂ කීවේ බර කරමිනි.

“චැනල් ගණනාවක් ඔවුන්ගේ නාලිකාවේ විවාදය පෙන්වමු කියලා ආරාධනා කරනවා. රජයේ මාධ්‍ය නිහඬයි” මන්ත්‍රි දොලවත්ත කී විට ජනාධිපති රනිල් සාගලට කීවේ අයිටීඑන් සභාපතිට කතා කර මෙය කියනා ලෙසය.

සාගල වහාම ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශනට කතා කොට ඔවුන්ගේ නාලිකාවේ මෙය විකාශ කිරීමට ආරාධනා කරන්නැයි කීවේය.

නාලිකාවට එන්න බැරි නම් ඔවුන් කියන තැනකට සිය කැමරා ආම්පන්න රැගෙනවිත් ලෑස්ති කිර්මට හැකි බව පවසන්නැයි ද සාගල උපදෙස් දුන්නේය.

සිංහල දමිළ අවුරුද්දට පෙර මෙම විවාදය නරඹන්න හැකි නම්, එය මහත් ප්‍රයෝජනයක් වනු ඇතැයි එහි සිටි බහුතරයකගේ අදහස විය.(මව්බිම)