March 29, 2026

මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් බාධාවන් විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩිනම් සහයෝගය ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මුහුණදෙන ඉන්ධන සැපයුම් අභියෝග සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කළ බවයි.

සාකච්ඡාවලින් පසු ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් කොළඹට පැමිණි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ කඩිනම් සහායට කෘතඥතාව පළකරමිනි.

මෙම කටයුත්තට පහසුකම් සැලසීම සඳහා සමීප සම්බන්ධීකරණය සිදුකළ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ට ද ඔහු ස්තූතිය පුදකර ඇත.

මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ශ්‍රී ලංකාව ඉන්ධන සැපයුම් ස්ථාවරත්වය පිළිබඳ ගැටළුවලට මුහුණ දී ඇත.