June 20, 2023

එක්සත් රාජධානිය විසින් ලබාදෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එක්සත් රාජධානිය විසින් ගන්නා ලද තීරණය පිළිබඳව රජය සිය සතුට පළකර තිබේ.

මෙම සහනය මගින් බ්‍රිතාන්‍යයට සිදුකෙරෙන් ශ්‍රී ලාංකීය අපනයනවලින් 92 % ක් සඳහා තීරු බදු සහන හිමිවීමට නියමිතය.

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ධූරයෙන් සමුගන්නා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර ඊයේ(19) සිදුවූ විශේෂ හමුවේදී මේ බව ප්‍රකාශ වී ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ IMF අරමුදල් පහසුකම ලබාදීමෙන් පසු එක්සත් රාජධානිය විසින් නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව එහිදී පැවසූ අගැමතිවරයා අධ්‍යාපන, බැංකු සහ මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර කළමනාකරණය, සෞඛ්‍ය සේවා, හෝටල් සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල සිදුකරන එක්සත් රාජධානි ආයෝජන වැඩිකරන ලෙස මෙහිදී ආරාධනා කර තිබේ.

යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන GSP+ තීරු බදු සහනයට සමාන ආකාරයෙන් එක්සත් රාජධානියද (බ්‍රිතාන්‍යය) අද(2023 ජුනි 19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වෙළඳ සහන යෝජනා ක්‍රමයක් (DCTS) ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, තීරුබදු අඩු කිරීම් සහ සරල වෙළඳ කොන්දේසි සපයන එක්සත් රාජධානියේ DCTS සහනය වෙතින් ප්‍රතිලාභ ලබන රටවල් 65න් එකක් ලෙස ශ්‍රී ලංකාවද නම්කර තිබේ.