November 27, 2026

පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිලධාරීන් 65,000 දෙනකු යතුරුපැදි ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන්ට මෙම විද්‍යුත් යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව, අදාළ නිලධාරීන් කැමැත්ත පළකරන විද්‍යුත් යතුරුපැදි වර්ග පිළිබඳව විමසීමක් සිදුකර ඇති අතර, එහිදී නිලධාරීන් 65,000 දෙනකු තමන්ට අවශ්‍ය යතුරුපැදි සම්බන්ධයෙන් ඉල්ලුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ යතුරුපැදි සඳහා අදාළ වන බදු මුදල් පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට යතුරුපැදි මිලදී ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබාදීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මේ වන විට ව්‍යාපෘතියට අදාළ ක්‍රියාපටිපාටි සිදුකෙරෙමින් පවතින බවත්, ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ විද්‍යුත් යතුරුපැදි පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.