March 5, 2026

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවාස සෝදිසි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් කාන්තාවන් පිරිසක් පොලිසියට දෝෂාරෝපණය කරමින් අදහස් දක්වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිසිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී මගින් වාර්තාවක් කැඳවීමට කටයුතු කරන ලද බවත් 2026.03.03 දින කොළඹ උතුර ජම්පටාවීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීමට පාදක වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එදින සවස 04 සිට රාත්‍රී 07.30 දක්වා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරීගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් පාලනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම හා එයට අදාළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාසයේ සියළුම ස්ථානාධිපතිවරුන් දැනුවන් කර ඉහත ප්‍රදේශය ආවරණය වන පරිදි වටලා සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි අදාළ නිලධාරීන් වාර්තා කර ඇත.

විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකුගේ නිවාස මෙම ප්‍රදේශයේ පිහිටා ඇති බවත් ඔවුන් විදේශගතව සිටිමින් තවදුරටත් මෙම ප්‍රදේශ මූලික කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සිදු කිරිම මැඩපැවැත්වීම මෙම මෙහෙයුමේ අරමුණ බව අදාළ නිලධාරීන් වාර්තා කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම වීඩියෝ පටයේ සඳහන් ආකාරයට යම් අයෙකුගේ දේපළ හෝ මුදල් අස්ථානගත වීමක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධව අගතියට පත් පාර්ශයට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවත් වීඩියෝ පටයේ සඳහන් කරන කරුණු සත්‍යයයෙන් තොර බවටත් වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.