October 2, 2023

ඇය ප්‍රදීපා සිල්වාය. පදිංචිව සිටියේ මුල්ලේරියාව තෝමස් චොන්ගමය. අවුරුදු 52ක් වයස ඉක්මවා සිටියත් ඇය එතරම් වයසැති කතක්දැයි කියන්නට බැරි තරමට ඇගේ තරුණ පෙනුම රැකගෙන සිටියාය. අංගොඩ පැත්තේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඇය විවාහක තැතැත්තියක් වූවාය. ඇගේ සැමියා වැදගත් රැකියාවක නිරත වූ විශ්‍රාමිකයෙකි. ඔවුන්ට දාව දියණියෝ තිදෙනෙක් සිටිති. ඉන් දෙදෙනකුම සිටින්නේ විදෙස්ගතවය. මේ දිනවල සැමියාද සිටින්නේ වැඩිමහල් දියණිය ළඟ ඕස්ට්‍රේලියාවේය. කෙසේ වෙතත් මේ යුවළ බොහෝ කලක සිට වෙසෙන්නේ වෙන්වය.

ප්‍රදීපාට අංගොඩ හා ඒ අවට ප්‍රදේශවල ගේදොර හා නිවාස කිහිපයකි. ඒවා මිල අධික දේපොළය. එම නිවාස කුලියට දීම ඇගේ ආදායම් මාර්ගයකි. ඇයට පොලිසියේද මිතුරන් නැත්තේම නැත. ඒ අතර තරු පටි පැළඳි අය බොහෝය. ඒ නිසාම ඇය සිවිල් බලයක්ද ඒ මඟින් ගොඩනගාගෙන සිටියාය. එහෙත් එසේය කියා කිසිවිටකත් ඇය ඒ බලයෙන් හිස උදුම්වාගෙන කිසිවකුටත් වචනයකින් හෝ හිරිහැර කිරීමට හෝ හිංසා කිරීමට ගියේ නැත. සිදු වූයේ ඇයට ඇති සම්බන්ධය දැන සිටි අය ඇයට බය පක්ෂපාතකම් පෑමය.

මේ කාන්තාව තෝමස් චොන්ගම පිහිටි නිවෙසේ ඒ වන විට ජීවත්වෙමින් සිටියේ තනිවමය. ඇය පසුගිය 27 දා උදෑසනම හැඳ පැලඳගෙන සිය නිවෙසින් එළියට බසින්නේ ලොකු ගමනක් යෑමේ සූදානමක් ඇතිවය. ඇය බොහෝ විට අංගොඩ හන්දියට හෝ ඒ අවට කඩමංඩියකට යන්නේ නම් ඒ යන්නේ පාගමනින්ය. ත්‍රිරෝද රථයකට ගොඩවන්නේ නම් ඒ දුර ගමනක් යන විට පමණි. මෙදින උදෑසන ඇය කිට්ටුව පාත හිතවතියකගේ නිවෙසකට ගොඩවන්නේ ඇයත් සමඟ යම් කතාබහක් කරන්න තිබුණු බැවිනි. ඇය එහි යන විට දන්නා කියන හිතවතියක්ද එහි පැමිණ සිටියාය. ඇය ආයුර්වේද වෛද්‍යවරියකි. මඳ වේලාවක් ඒ හිතවතියගේ නිවෙසේ ගතකළ ප්‍රදීපා ඒ නිවෙසින් එළියට බසින්නේ ආයුර්වේද වෛද්‍යවරියත් සමඟිනි. හිතවතියගේ නිවෙස අසලින් ඇය ආයුර්වේද වෛද්‍යවරියත් සමඟ ත්‍රිරෝද රථයකට ගොඩවන්නේ කොටිකාවත්තේ පදිංචි සිය සහෝදරියකගේ නිවෙසට යන බව පවසමිනි. ඒ යන අතරතුර මීගමුවේ පදිංචි ඇයගේ බාල දියණියගෙන්ද උදෑසන 8.50ට පමණ දුරකතන ඇමතුමක් ආවේය: “මම කොටිකාවත්තේ ලොකු අම්මලාගේ ගෙදර යනවා” ඇය එහිදී දියණියටද එසේ පැවසුවාය.

මෙදින රාත්‍රී 11.30ට පමණ මුල්ලේරියාව පොලිස් ස්ථානයට කලබලයෙන් දිව එන්නේ ප්‍රදීපාගේ බාල දියණියයි. ඒ එන්නේ මීගමුවේ සිටය. ඒ එදින උදෑසන 9.20න් පසු තම මවගේ දුරකථනය ක්‍රියා විරහිතව ඇති බව සඳහන් කරමිනි. මොන දේ වුවත් ඇය කිසි දින දුරකථනය ක්‍රියා විරහිත නොකරන බැවින් දියණියට ඒ ගැන ගෙන දුන්නේ දැඩි සැකයකි. ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසියට එන්නේ එබැවිනි. ඒ වන විට බොහෝ රෑ බෝ වී තිබීම නිසා පොලිසියට ක්ෂණිකව කරන්නට කිසිවක් ඉතිරිව නොතිබිණි. එබැවින් පොලිසිය තීරණය කරන්නේ, පසුදින උදෑසනම ඇය සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නටය. ඒ ඇය උදෑසන නැවත නිවෙසට නොපැමිණියහොත්ය.

28වැනිදා උදෑසනම දියණිය නැවතත් පොලිසියට එන්නේ මව ගැන කිසිදු තොරතුරක් නැති බව කියාගෙනය. ඒ වන විටත් පොලිසිය සොයාගෙන තිබුණු තොරතුරුවලට අනුව ඇය සමඟ ත්‍රිරෝද රථයේ නැඟී ගමන් කළ ආයුර්වේද වෛද්‍යවරිය අංගොඩ හන්දියෙන් බැස ඇත. ප්‍රදීපා ඇයටත් පවසා ඇත්තේ තමා කොටිකාවත්ත බලා යන බවයි. එහෙත් ඇය කොටිකාවත්තට ගොස් නැති බව ඒ වන විටත් විමර්ශනවලින් අනාවරණය වී තිබිණි. මෙහිදී ඇගේ ජංගම දුරකතනයේ ඇති මෘදුකාංගයක් ඔස්සේ ඇගේ දියණියගේ සහාය ඇතිව විද්‍යාත්මක විමර්ශනයක් කළ පොලිස් විර්ශකයෝ ඇය අතුරුදන් වූ දින ගමන් කර ඇත්තේ කොටිකාවත්ත දෙසට නොව, කඩුවෙල දෙසට බව අනාවරණය කරගත්හ. ඒ සියුම් විමර්ශනයේදී හෙළි වන්නේ ඇය ඒ අතරමඟ ඇති මෙරට ප්‍රසිද්ධ කෙටි ආහාර අලෙවි ස්ථානයකටද ගොඩවැදී ඇති බවයි. ඒ ස්ථානය පැහැදිලිවම අනාවරණය කරගත් මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් එම කෙටි ආහාර අලෙවි ස්ථානයේ ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද කර ඇත්තේ සැබෑ ලෙසම ඇය එම ස්ථානයට පැමිණියේද ඇය සමඟ තවත් කවුරුන් හෝ පැමිණ තිබේද යන්න සනාථ කරගන්නය. ඇය පාගමනින් ඒ කෙටි ආහාර අලෙවි ස්ථානයට ගොඩවදින අයුරු කැමරා කාචයේ පැහැදිලිවම සටහන්ව ඇති ආකාරය මෙන්ම එහි රථ ගාලේ නවතා ඇති වාහනයකට ඇය තට්ටුවක් දමමින් පැමිණෙන ආකාරය පවා එහි විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වන්නේ එහිදීය. එම තට්ටුවෙන් පසු මෝටර් රථයේ රියැදුරු අසුනේ රැඳී සිටි පුද්ගලයාද ඉන් බැස කෙටි ආහාර අලෙවි ස්ථානයට ඇතුළු වන බවද කැමරා දර්ශනවල පැහැදිලිවම සටහන්ව තිබෙනු විමර්ශන නිලධාරීහු දුටහ. මඳ වේලාවක් එහි රැඳී සිටිමින් කෙටි ආහාර මිල දී ගෙන ඒවා භුක්ති විදින ඔවුන් එම ස්ථානයෙන් පිටව යන්නේ මෝටර් රථයේ නැඟීය. ආහාර මිල දී ගැනීම සඳහා ගෙවීම් කරනු ලබන්නේද ඇය විසිනි.

මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ගේ අවධානයට මෙහිදී යොමුවන්නේ ඔවුන් කෑ-බී දේවල් නොව, ඇය ගොඩ වී ගමන් කළ මෝටර් රථය ගැනය. එහි අංකය සටහන් කරගත් පොලිස් නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් එහි හිමිකරු ගැන තොරතුරු සොයා බැලූහ. එහිදී තොරතුරු ලැබෙන්නේ ඒ මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු සියඹලාපේ අයකු බවටය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සියඹලාපේ බලා යන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලද ලිපිනය සඳහන් නිවෙස සොයාය. ඒ වන විට ඒ නිවෙසේ පදිංචිව සිටින්නේ වෙනත් පිරිසකි. නිවෙසේ හිමිකරු ඊට පෙර දින නිවෙසේ තිබුණු බඩු මුට්ටු අස්පස් කරගෙන නිවෙස වෙනත් අයකුට කුලීයට දී පිටත්ව ගොස් ඇත්තේ 27වැනිදාය. අලුත් අය ඒ නිවෙසේ පදිංචියට පැමිණ ඇත්තේ 28වැනිදාය. මේ නිවෙසේ හිමිකරු ඒ කිට්ටුවපාත නිවෙසක පදිංචිව සිටින බවට තොරතුරක්ද මෙහිදී පොලිස් නිලධාරීන්ට අලුත පදිංචි අයගෙන් ලැබෙන්නේ දීර්ඝ ලෙස ඒ අයගෙන් තොරතුරු විමසීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ තැන පිහිටා තිබුණේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය තැනය. එය වසා දැමුණු එය සුවිසල් නිවෙසකි. එහි කිසිවෙකුත් ඒ වන විට වාසය නොකරන බව බැලූ බැල්මටම පොලිස් නිලධාරීන්ට පෙනීගියේය. ඒ නිසාම එම නිවෙස පිහිටි ගෙවත්තට ඇතුළු වීමට නිලධාරීන්ට සිදු වන්නේ තාප්පයෙන් පැනය. ඒ ගිය ඔවුන් ගෙවත්තේ හැම තැනක්ම සියුම් ලෙස පරීක්ෂා කරන්න වූයේ සැකකටයුතු කිසිවක් එහි තිබේදැයි සොයාය. තැන තැන භූමිතෙල් දමා පිරිසිදු කර ඇති බවක් පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ එහිදීය. නිවෙසේ පෝටිකෝව තිබුණේ භූමිතෙල් දමා සෝදාය. අඩවල් කර තිබුණු දොරකින් මෙහිදී පොලිස් නිලධාරීන් නිවෙස තුළට රිංගා පරීක්ෂා කරන්න වූයේ යම් අපරාධයක සේයාවක් මෙහි පෙනෙන්න වූ බැවිනි. පොලිස් නිලධාරීන්ගේ නාස්පුඩුවලට වැගිරුණු රුධිරයක කුණු ගඳක් දැනෙන්න ගන්නේත් බාගෙට සේදුණු ලේ පැල්ලම් නිවෙසේ ස්ථාන කිහිපයක තිබෙනු නිරීක්ෂණය වන්නේත් එහිදීය. මේ දෙමහල් සුවිසල් නිවෙස ඇතුළත මෙන්ම පිටතත් පරීක්ෂා කළ පොලිස් විමර්ශකයන්ට කාන්තාවකගේ යැයි සැක කළ හැකි කෙස්ගස් සමඟ තවත් සැකකටයුතු යමක් හමුවන්නේ නිවසේ පිටුපස කසළ ගොඩක තිබියදීය. ඒ අනුව පැහැදිලි වන්නේ මේ නිවෙස තුළදී ප්‍රදීපා යම් අනතුරකට ලක්ව ඇති බවයි.

ඒ වන විටත් පොලිසිය මේ නිවෙසේ හිමිකරු ගැන බොහෝ දේ අනාවරණය කරගෙන තිබිණි. නිවෙස් හිමිකරු සුධීරය. ඔහු ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 57ක් පමණ වන ඔහු සහ ප්‍රදීපා අතර වසර 20ක පමණ කාලයක් තිස්සේ ඉතා සමීප සම්බන්ධයක් තිබී ඇත. සුධීරත් විවාහකයෙකි. ඔහුටද දරුවන් දෙදෙනකු සිටින බවත්, ප්‍රදීපාට සුධීර මිල මුදල් ගේදොර ඉඩකඩම් පවා දී ඇති බවත් කියැවිණි. සුධීර සිට ඇතැයි පැවසෙන්නේ ප්‍රදීපාගෙන් ගැලවෙන්නට විදිහක් නැතිව බවට වූ සැකයක්ද මේ වන විට මතු වෙමින් ඇත. එදා ඔහුව සොයා ඇය ගොස් ඇත්තේද කීයත් හරි ඉල්ලා ගන්න විය හැකි යැයි සැකයක්ද මේ වන විට මතුව ඇත. ඇය අතුරුදන් වන්නේ ඒත් එක්කමය.

ඇගේ අතුරුදන් වීම, සියඹලාපේ නිවෙසේ ලේ පැල්ලම් හමුවීම අපරාධයක සලකුණක් වූ බැවින් මේ ගැන මුල්ලේරියාව පොලිසිය සපුගස්කන්ද පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අපරාධයක සලකුණු ඇත්තේ සපුගස්කන්ද පොලිස් වසමේ වූ බැවිනි. ඒ වන විටත් ප්‍රදීපාගේ අතුරුදන් වීම පොලිස්පොතේ සටහන්ව 24ක කාලයක්වත් ගෙවී ගොස් තිබුණේ නැත. සපුගස්කන්ද පොලිසියට මේ ගැන දැනුවත් කිරීමත් සමඟ මුල්ලේරියාව පොලිසියට පෙරළා දැනගන්න ලැබෙන්නේ සපුගස්කන්ද පොලිස් වසමේ, කොට්ටුන්න ඔයේ ගස් අතර සිර වී ඇති නිරුවත් කාන්තා සිරුරක් හමු වීමක් ගැනය. ඒ සිරුරේ හිස නැත. අත්පා කොටස්ද නැත. ඒ සියල්ලක්ම කපා ඉවත් කරදමාය. ඒ සිරුර කාන්තා සිරුරක් බව හඳුනාගන්න ඇත්තේ ඇගේ නාරි ලක්ෂණවලින් පමණි. එම සිරුර වෙන කාගේවත් නොව, ප්‍රදීපාගේ බව මේ වන විටත් ඇගේ පවුලේ උදවිය හඳුනාගෙන හමාරය. මේ දිනවල අධික වර්ෂාව හේතුවෙන් ගංගා ඇළ දොළවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් සිරුරේ කොටස් ජලයට වෙන වෙනම දමා ඇති බවත්, ඒවා ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය මේ වන විට සැක කරයි. ඇය මෙසේ අමානුෂික ලෙස මරාදැමුවේ ඇයිදැයි කියා දැනගැනීමට හැකියාව ඇත්තේ සුධීර කොටු කරගැනීමෙන් පමණි. ඊයේ වන විටත් සුධීර සිටියේ පොලිසියට කට්ටි පනිමිනි. සුධීරගේ වාහනය පවා පොලිසිය ඊයේ සොයාගත්තේ නුවරඑළියේ දමාගොස් තිබියදීය. ඒ වාහනය රැගෙන එන්නට මහාබාගේ පොලිසියේ කණ්ඩායමක්ද නුවරඑළියට ගොස් තිබිණි. ඒ කණ්ඩායම සුධීර කොටුකර ගැනීමට උත්සාහයකද ඊයේ වන විට නිරතව සිටියේය.

මේ වන විට ඇයගේ දේහය රාගම මහරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහර වැඩ බලන මහේස්ත්‍රාත් සමන් විදානපතිරණ විසින් ඉකුත් සිකුරාදා (29) දහවල් අදාළ නිවෙස හා මළ සිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කරන ලදී. ඒ මළ සිරුරේ හිස හා අත්පා සොයාගැනීම සදහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන හෙයින් ඇයගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට තව දින කීපයක් ගත වන බව පොලිසිය පවසයි.

(දිනමිණ)