April 14, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී නායකයන් දෙපළ බටහිර ආසියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කර තිබේ.

විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බව අග්‍රාමාත්‍ය මෝදි ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සියලුම අංශ ඔස්සේ සිය විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බව ඔහු පැවසීය.

”මගේ මිත්‍ර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඇමතුමක් ලැබුණා. විවිධ අංශ යටතේ අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය අපි සමාලෝචනය කළා. සියලු ක්ෂේත්‍රයන්හි අපගේ විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිනවා,” යනුවෙන් මෝදි සඳහන් කර තිබේ.

‘අපි බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කළ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළා,’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

නායකයන් දෙපළ අතර පැවති සාකච්ඡාව ඉතා ධනාත්මක සහ ඵලදායී බව ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් පැවසීය.