April 16, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී බටහිර ආසියාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව සහ නිදහස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය ද නායකයන් දෙපළ අවධාරණය කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදය පිළිබඳ X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ පවසා ඇත්තේ කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

කලාපය තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, උපායමාර්ගිකව වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ බාධාවකින් තොර නාවික ගමනාගමනය සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද නායකයින් දෙපළ එකඟ වී ඇත.