July 11, 2026

වෙළඳාම, ආරක්ෂක, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීමේ අභිලාෂකාමී සැලසුමකට එකඟ වෙමින්, නවසීලන්තය සහ ඉන්දියාව අතර සබඳතා ‘උපායමාර්ගික හවුල්කාරිත්වයක්’ දක්වා ඉහළ නැංවීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇත.

වසර 40කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කළ පළමු නිල සංචාරය සලකුණු කරමින් අග්‍රාමාත්‍ය මෝදි ඕක්ලන්ඩ් නුවරට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කෙරිණි.

මෙම ඓතිහාසික සංචාරය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් ඕක්ලන්ඩ් හි ස්පාර්ක් ඇරීනා (Spark Arena) ක්‍රීඩාංගණය වෙත රැස්වීමට සූදානමින් සිටියහ.

ඊට පෙර, රජයේ නිල නිවස වෙත පැමිණි අග්‍රාමාත්‍ය මෝදි මාඕරි වැසියන්ගේ සාම්ප්‍රදායික ‘පෝහිරි’ (pōwhiri) පිළිගැනීමේ උත්සවයක් සහිතව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ලක්සන් , ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව වැළඳගනිමින් සහ අතට අත දෙමින් පිළිගත් අතර, අනතුරුව දෙදෙනා එක්ව නිල උත්සව සභාව වෙත ගමන් කළහ. අග්‍රාමාත්‍ය ලක්සන් මහතා මෙම සංචාරය හඳුන්වා දුන්නේ දෙරට අතර සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසය.

“මේ සබඳතාවය වෙනුවෙන් සහ එය ශක්තිමත් කිරීමට ඔබ දැක්වූ දායකත්වයට ස්තූතියි. අද අපගේ අවධානය යොමුව ඇත්තේ නිදහස් වෙළඳ ගිවිසුමකටත් (FTA) එහා ගිය පුළුල් සබඳතාවක් කෙරෙහි. මගේ මිත්‍රයාණෙනි, ඔබව හමුවීමට ලැබීම සතුටක්,” යනුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මාඕරි භාෂාවෙන් “කියා ඕරා” (Kia ora) යනුවෙන් සුබ පතමින් සිය කතාව ආරම්භ කළ අතර, නවසීලන්ත-ඉන්දියා සබඳතා තුළ දැන් නව ශක්තියක් සහ නව අධිෂ්ඨානයක් ගොඩනැඟී ඇති බව ප්‍රකාශ කළේය.

මෙම හමුවීම හරහා දෙරටේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කෙරෙන කැපවීම් තවදුරටත් ශක්තිමත් වන බව පැවසූ මෝදි, ඉන්දියාව සහ නවසීලන්තය යන දෙරටම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බෙදාගන්නා, සාගරය මායිම් වූ රාජ්‍යයන් දෙකක් බවද පෙන්වා දුන්නේය.

එසේම, දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඉතා කෙටි කලකින් නිම කිරීමට හැකි වීම පිළිබඳවද මෝදි සිය ප්‍රසාදය පළ කළේය.