May 18, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගහර් ස්ටෝර් සමඟ ඔස්ලෝ නුවරදී අද දින ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයට සමගාමීව සිදු කෙරුණු නෝර්වේ සංචාරයේදීය.

සිය ස්විඩන සංචාරය සාර්ථකව නිම කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද නෝර්වේ රාජ්‍යය වෙත ළඟා වූ අතර එහිදී ඔහුට නෝර්වේ රජයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.

ඔස්ලෝ නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරයාව එහි වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව (ඉන්දීය ප්‍රජාව) විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අග්‍රාමාත්‍ය මෝදි නෝර්වේ රාජ්‍යයේ සිදුකරන ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා මෙලෙස ඔස්ලෝ නුවරට පැමිණ ඇත.

මෙය වසර 43කට පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා නෝර්වේ බලා පැමිණි පළමු අවස්ථාවයි.

මෙම සංචාරයට සමගාමීව ඉන්දියාව සහ නෝර්වේ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මෙන්ම 3 වන ඉන්දියා-නෝඩික් සමුළුව ද පැවැත්වේ.

මෙම සංචාරය මඟින් නෝඩික් රටවල් සමඟ ඉන්දියාව පවත්වන සබඳතාවලට නව ජවයක් ලැබෙනු ඇත.

අද දින අග්‍රාමාත්‍යවරයා පස්වන හැරල්ඩ් රජු සහ සෝන්ජා රැජින බැහැදැකීමට නියමිතය.

ඔහු ඉන්දියා-නෝර්වේ ව්‍යාපාරික සහ පර්යේෂණ සමුළුව ද ඇමතීමට නියමිතව ඇත.

මෙම සංචාරය පිරිසිදු හා හරිත තාක්‍ෂණය (clean & green technology) සහ නිල් ආර්ථිකය (blue economy) වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම එය වෙළඳ සහ ආයෝජන අවස්ථා සඳහා ද ඉහළ ගම්‍යතාවක් ලබා දෙනු ඇත.

ඉන්දියාව සහ නෝඩික් රටවල් 5 අතර දැනට පවතින ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 19ක් පමණ වේ.

නවෝත්පාදන, ආරක්ෂක අංශය, ආක්ටික් කලාපය සහ අන්‍යෝන්‍ය ජනතා සබඳතා වැනි පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මෙම සංචාරය මඟින් නෝඩික් රටවල් සමඟ ඉන්දියාව සතු දැනටමත් පවතින සුහද සබඳතා තවදුරටත් ගැඹුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.