October 9, 2026

ලෝක වෙළඳපොළේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, තම ප්‍රධාන සැපයුම්කරු වන කටාර් රාජ්‍යයෙන් ලැබෙන ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (LNG) නැව්ගත කිරීම් අඩාල වීමත් සමඟ ප්‍රමාණවත් LNG ගෑස් තොග සපයා ගැනීමට නොහැකිව පාකිස්තානය දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ඉදිරි ශීත ඍතුව ආසන්න වෙත්ම ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම ඉස්ලාමාබාද් පාලනයට අමතර අභියෝගයක් වී ඇත.

පාකිස්තානය වසර ගණනාවක සිට බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදවලට මුහුණ දෙමින් සිටින අතර, වර්තමාන සැපයුම් බාධා හේතුවෙන් රජයට දැඩි තීරණ ගැනීමට සිදුව තිබේ. අධික මිල ගණන් යටතේ අමතර LNG මිලදී ගැනීමෙන් විදුලි සහ ගෑස් ගාස්තු ඉහළ යන අතර, ප්‍රමාණවත් තරම් ගෑස් සපයා ගැනීමට අපොහොසත් වීමෙන් ගෑස් මත යැපෙන විදුලි උත්පාදනය, කර්මාන්ත ශාලා සහ අනෙකුත් ක්ෂේත්‍ර දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතී.

රොයිටර් පුවත් සේවය දක්වන දත්තවලට අනුව, ඉදිරි ශීත ඍතුවේදී පාකිස්තානයේ විදුලිබල ක්ෂේත්‍රයට දිනකට කියුබික් අඩි මිලියන 400ක පමණ ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය විය හැක. කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසය සඳහා තහවුරු කරගෙන තිබුණේ LNG නැව් දෙකක් පමණි. සාමාන්‍යයෙන් පාකිස්තානයට ලබාදෙන LNG නැවක කියුබික් මීටර් 140,000ක් අඩංගු වන අතර, එය ගෑස් කියුබික් අඩි බිලියන 3කට ආසන්න වේ. එම ප්‍රමාණය සතියකට මදක් වැඩි කාලයකට පමණක් ප්‍රමාණවත් වේ.

කටාර් රාජ්‍යයෙන් ලැබෙන සැපයුම් අඩාල වීම පියවා ගැනීම සඳහා පාකිස්තානය ජාත්‍යන්තර වෙළඳපොළෙන් විකල්ප ගෑස් තොග ලබා ගැනීමට උත්සාහ කරමින් සිටී. නමුත් මැදපෙරදිග බලශක්ති සැපයුමට සහ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා කෙරෙන නාවික ගමනාගමනයට එල්ල වූ බාධාවන් හේතුවෙන් ලෝක වෙළඳපොළේ LNG මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

බ්‍රිතාන්‍ය තාප ඒකක මිලියනයක් සඳහා LNG මිල ඩොලර් 20 සිට 30 දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මේ නිසා වැඩි මිලක් ගෙවීම වැළැක්වීම සඳහා රජයන් අතර සෘජු ගිවිසුම් හරහා ගෑස් ලබා ගැනීමට පාකිස්තානය අවධානය යොමු කර තිබේ.

එක්සත් ජනපද – ඉරාන යුද්ධය හේතුවෙන් කටාර් රාජ්‍යය ඇතැම් LNG නැව්ගත කිරීම් සම්බන්ධයෙන් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මෙම සැපයුම් බාධාවන් හටගෙන ඇත. ප්‍රතිඵලයක් ලෙස, තම විදුලිබල ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණික ලෝක වෙළඳපොළ කෙරෙහි වැඩි වශයෙන් යැපීමට සහ විකල්ප ඉන්ධන කෙරෙහි අවධානය යොමු කිරීමට පාකිස්තානයට සිදු වී තිබේ.