July 23, 2026

දරුණු ආර්ථික අර්බුදයක පසුවන පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක විනිමය ස්ථාවරත්ව පහසුකමක් ඉල්ලා ඇති බව අදාළ කරුණ පිළිබඳව දැනුවත් ආරංචි මාර්ග දෙකක් තහවුරු කරයි.

මෙම ඉල්ලීමට අනුමැතිය හිමිවුවහොත්, එය එම දකුණු ආසියානු රටේ ගිලෙමින් පවතින ආර්ථිකයට ප්‍රබල අස්වැසිල්ලක් වනු ඇත.

පළමු වරට මෙලෙස මාධ්‍ය වෙත වාර්තා වන මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, ඉරාන යුද්ධයට අදාළ සාකච්ඡා සඳහා පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ය.

එම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමත් සමඟ පාකිස්ථානයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ ගිය අතර, වොෂින්ටනය ඇතුළු සෙසු පාර්ශවයන්ගෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු මතු විය.

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සමඟ අඟහරුවාදා පැවැති හමුවකදී, පාකිස්ථාන මුදල් අමාත්‍ය මුහම්මද් ඖරංසෙබ් විසින් භාරදෙන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව ඇමරිකානු බලධාරියෙකු ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදය සහ පාකිස්ථාන රජය අතර වසර පහක් දක්වා වූ කල්පිරීමේ කාලසීමාවකට යටත්ව, ඩොලර් බිලියන 10 ක ද්විපාර්ශ්වික විනිමය ස්ථාවරත්ව ආධාර පහසුකමක් (Bilateral Exchange Stabilization Support Facility) ස්ථාපිත කරන ලෙස ඉස්ලාමාබාද් පාලනය එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුකූලව පාකිස්ථානය දැඩි මුල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටියද, මෙම ඉල්ලීමට එකඟතාව පළවුවහොත් පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වීමටත්, රුපියල මත පවතින පීඩනය අඩුවීමටත්, බහුපාර්ශ්වික මූල්‍ය ආධාර මත යැපීම අවම කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ අතර, ආසියානු ව්‍යාපාරික වේලාවෙන් බැහැරව රොයිටර් පුවත් සේවය කළ විමසීමට පාකිස්ථාන මුදල් අමාත්‍යාංශය ද වහාම ප්‍රතිචාර දක්වා නොමැත.

තම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මුදල් අමාත්‍ය ඖරංසෙබ් මහතා බෙසන්ට් මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රාදේශීය භූ-දේශපාලනික වර්ධනයන් හමුවේ පාකිස්ථාන ආර්ථිකයේ පවතින සංවේදීතාව පිළිබඳව කරුණු දක්වා ඇති නමුත්, ඩොලර් බිලියන 10 ක මූල්‍ය ඉල්ලීම පිළිබඳව එම නිවේදනයේ කිසිවක් සඳහන් කර නොමැත.