June 21, 2026

ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ සාම ගිවිසුමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යෑමේ වාසිය තම ජනතාවට උපරිමයෙන්ම ලබාදීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ. ඒ අනුව එරට ඉන්ධන මිල රුපියල 74ක් වැනි විශාල මුදලකින් අඩු කිරීමට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නියෝග කර ඇත.

පසුගිය පෙබරවාරියේ සිට ඇමරිකාව සහ ඉරානය අතර පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා එල්ල වූ අතර, එමඟින් ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේය. එය පාකිස්තානය වැනි ආනයන මත යැපෙන රටවලට දැඩි බලපෑමක් එල්ල කළේය.

නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74කින් අඩුකර ඇති අතර, නව මිල රුපියල් 299කි. ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 311ක් වේ.

අර්බුදකාරී සමයේදී රට තුළ තෙල් පෝලිම් ඇති වීමට නොදී කළමනාකරණය කරගත් බව පවසන අග්‍රාමාත්‍යවරයා, රජයේ අනවශ්‍ය වියදම් කපාහරිමින් ඉතිරි කරගත් රුපියල් බිලියන 129ක මුදල ජනතාවට මෙම සහනය ලබාදීමට වැයකළ බවද සඳහන් කරයි.
එමෙන්ම, මෙම ඇමරිකා – ඉරාන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ඉස්ලාමාබාද් නුවරදී මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට ලැබීමද පාකිස්තානය ලැබූ ජයග්‍රහණයක් බව ඔහු වැඩිදුරටත් පවසයි.